October 30, 2026

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාගේ බිරිඳගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව, රකිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය. එම තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර ඇත.

එම පෙත්සම අද කොළඹ මහාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබේ.

මෙලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හැරීමට පෙර රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ රකිත රාජපක්ෂ, චරිත අබේසිංහ සහ වරුණ හන්දිගේ අරුණ චතුරංග යන සැකකරුවන් තිදෙනාය.

මොවුන් අතුරින් රකිත රාජපක්ෂ යනු හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත්‍රයාය.

අල්ලස් කොමිසම සඳහන් කරන පරිදි, මෙම චෝදනාව එල්ල වී ඇත්තේ අදාළ සංවිධානාත්මක අපරාධකරුගේ බිරිඳට යම් සහනයක් හෝ පහසුකමක් සලසා දීම වෙනුවෙන් ඇගෙන් රුපියල් මිලියන 120 ක මුදලක් ලබාගත්තේ යැයි කියන සිද්ධියකට අදාළවය.