October 29, 2026

රන් කිලෝග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් නීති විරෝධී ලෙස මාලදිවයිනට ගෙන ඒමේ චෝදනාවට වසරක සිරදඬුවමක් විඳ අවසන් කර සිටි ශ්‍රී ලාංකිකයෙකු නිදහස් කිරීමට මාලදිවයින් මහාධිකරණය තීරණය කර තිබේ.

මාලදිවයින් මාධ්‍ය වාර්තා කරන පරිදි, මොහොමඩ් සුලෙයිමාන් නමැති මෙම ශ්‍රී ලාංකිකයාට 2025 ඔක්තෝබර් 28 වන දින මාලදිවයින් අපරාධ අධිකරණය විසින් නියම කරන ලද වසරක සිරදඬුවම, වසරකට පසුව එනම් 2026 ඔක්තෝබර් 28 වන දින මහාධිකරණය විසින් බලරහිත කරන ලදී.

මෙම සිදුවීම 2023 සෙප්තැම්බර් 21 වන දින සිදුවූවකි. ඩුබායි සිට එමිරේට්ස් ගුවන් යානයකින් මාලදිවයිනේ වේලානා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අදාළ ශ්‍රී ලාංකිකයා ග්‍රීන් චැනල් හරහා පිටවීමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර ඇත. එහිදී ඔහුගේ ඩෙනිම් කලිසම් සාක්කුවල සහ යට ඇඳුම් තුළ සඟවා තිබූ ග්‍රෑම් 2,282 ක බරින් යුත් රන් සොයාගන්නා ලදී.

පසුව මාලදිවයින් රේගු පනතේ 97(a) වගන්තිය යටතේ භාණ්ඩ ජාවාරම් කිරීමේ චෝදනාව මත ඔහුට එරෙහිව නඩු පවරා වසරක සිරදඬුවමක් නියම කෙරිණි.

කෙසේ වෙතත්, එල්ල කර ඇති චෝදනා මගින් ජාවාරම් කිරීමේ වරද තහවුරු කිරීමට අවශ්‍ය නෛතික අවශ්‍යතා සම්පූර්ණ නොවන බවට මාලදිවයින් මහාධිකරණය ඒකමතිකව තීන්දු කළේය.

අදාළ රත්‍රං තොගය තහනම් කරන ලද භාණ්ඩයක් හෝ රේගු බද්දකට යටත් වන භාණ්ඩයක් නොවන බව පැමිණිලි පාර්ශ්වය ද පිළිගෙන ඇති බව අධිකරණය පෙන්වා දුන්නේය.

ප්‍රකාශ නොකරන ලද රත්‍රං අනවසර භාණ්ඩයක් ලෙස සැලකිය හැකිය යන රාජ්‍ය පාර්ශ්වයේ තර්කය ප්‍රතික්ෂේප කළ මහාධිකරණය, නීතිය මගින් යම් ක්‍රියාවක් වරදක් ලෙස පැහැදිලිව අර්ථ දක්වා නොමැති නම් එය අපරාධයක් ලෙස සැලකිය නොහැකි බවට තීන්දු කළේය.