October 29, 2026

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ලෝක බෞද්ධ විද්වත් සංගමයේ නියෝජිත පිරිසක් අතර හමුවක් එම පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙම නියෝජිත පිරිසට ප්‍රකට ඉන්දීය රංගන ශිල්පී මෙන්ම බෞද්ධ ක්‍රියාකාරිකයකු වන ආචාර්ය ගගන් මලික් ද ඇතුළත් විය.

තෙලන්ගානා හි හයිද්‍රාබාද් ‘Buddhavanam’ ව්‍යාපෘතියේ විශේෂ නිලධාරී මහාචාර්ය මලපල්ලී ලක්ෂ්මන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නියෝජිත පිරිස පැමිණ සිටියහ.

බෞද්ධ ආගමික කටයුතු සඳහා සහය දැක්වීම, බෞද්ධ උරුමයන් සුරැකීම මෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හා ආත්මීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් සාමූහික පියවරයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ටිල්වින් සිල්වා පැවසීය.

පරස්පර අවබෝධය පදනම් කරගත් සහයෝගීතාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බව පැවසූ ඔහු, මෙවැනි පියවර දෙරටේම බෞද්ධ උරුමය සුරැකීමට, බෞද්ධ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම සාමය, සහජීවනය සහ මිත්‍රත්වය වර්ධනය කිරීමට උපකාරී වන බව වැඩිදුරටත් සඳහන් කළේය.