October 28, 2026

කළුතර, නාගස් හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදිවලින් පැමිණි හයදෙනෙකුගෙන් යුත් පිරිසක් බස් රථය හරස් කරමින් එහි රියදුරුට සහ කොන්දොස්තරවරයාට පහරදී තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (27) පස්වරුවේ කොළඹ සිට කළුතර දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක්, මගීන් බැස්සවීමෙන් අනතුරුව ගරාජය වෙත රැගෙන යමින් තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

යතුරුපැදි තුනකින් පැමිණි පුද්ගලයින් හයදෙනෙකු බස් රථයට ඉදිරියෙන් පාර හරස් කරමින් බස් රථය නවතා, රියදුරුට සහ කොන්දොස්තරවරයාට පහරදී ඇත.

මෙම පහරදීමේ සිදුවීම බස් රථය තුළ සවිකර තිබූ සීසීටීවී කැමරාවක ද සටහන්ව තිබේ.

මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, මෙම බස් රථය කළුතර දෙසට ධාවනය වෙමින් තිබියදී මොරටුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට බස් රථයට ගොඩවීමට කොන්දොස්තරවරයා ඉඩ නොදීම හේතුවෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.

පහරදීමෙන් තුවාල ලැබූ කොන්දොස්තරවරයා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිදුවීමට අදාළව ලැබුණු පැමිණිල්ලක් මත කළුතර උතුර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, පහරදීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට පියවර ගනිමින් සිටියි.