October 27, 2026

ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හෙට (28) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහා අධිකරණ විනිසුරු මඬුල්ල හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

අද (27) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙනී සිටින තෙක් නාමල් රාජපක්ෂ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඊට අදාළ නඩු කටයුතු පිළිබඳ වාර්තාවක් ඔක්තෝබර් 30 වැනි දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.

එයාර්බස් ගනුදෙනුවට අදාළව මුදල් විශුද්ධිකරණය සහ රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීමේ චෝදනා යටතේ නාමල් රාජපක්ෂ ඇතුළු පුද්ගලයින් සිව්දෙනකුට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහා අධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනු කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් විය.