October 24, 2026

පාකිස්තානයේ රාවල්පිණ්ඩිහිදී පැවැති තරගය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පිරිසක් ක්‍රීඩාගාරය සහ ඒ අවට ප්‍රදේශය පිරිසිදු කිරීමට කටයුතු කර ඇති බවට වාර්තා වේ.

තරගය අවසන් වීමෙන් පසු ක්‍රීඩකයන් විසින් භාවිතයෙන් ඉවත් කළ හිස් වතුර බෝතල් එකතු කර කසළ බඳුන්වලට දැමීමට පියවර ගෙන තිබේ. කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ද මෙම කටයුත්තට එක්ව සිටි බව අදාළ වාර්තාවේ සඳහන් වේ.

එහිදී ක්‍රීඩාගාරය අවට විසිරී තිබූ බෝතල් සහ වෙනත් ද්‍රව්‍ය ද ක්‍රීඩකයන් විසින් එකතු කර පිරිසිදු කර තිබේ.

මෙම කටයුතු හේතුවෙන් කණ්ඩායම රැගෙන යාමට පැමිණි බස් රථය පිටත්වීම ද විනාඩි 30කින් පමණ ප්‍රමාද වූ බව එම වාර්තාවේ දැක්වේ. ඒ වන විට ක්‍රීඩකයන් ක්‍රීඩාගාරය සහ අවට පරිසරය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටි බව සඳහන් වේ.

ක්‍රීඩාවේදී දක්ෂතා දැක්වීමට අමතරව, පරිසරය පිරිසිදුව තබා ගැනීම සහ වගකීමෙන් යුතුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද මෙම ක්‍රියාව ආදර්ශයක් ලෙසින් මෙම කටයුත්ත ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රශංසාවට ලක්ව තිබේ.