October 21, 2026

2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තා ලබා දීමේ නොවැම්බර් අවසාන දිනය ආසන්න වෙමින් පැවතුණද, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි පුද්ගලික බදු ගෙවන්නන්ගෙන් 91.7%කට ආසන්න ප්‍රමාණයක් තවමත් සිය බදු වාර්තා ඉදිරිපත් කර නොමැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

මෙම නීතිමය අවශ්‍යතාව මඟහරින්නන්ට එරෙහිව දඩ මුදල්, අතිරේක තක්සේරු කිරීම් මෙන්ම අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවටද දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ලියාපදිංචි වී සිටින ලක්ෂ 12කට ආසන්න බදු ගෙවන්නන් සංඛ්‍යාව අතුරින් ජූලි 01 වන දින මාර්ගගත පද්ධතිය විවෘත කළ අවස්ථාවේ සිට මේ දක්වා ලබා දී ඇත්තේ බදු වාර්තා ලක්ෂයක් පමණක් බවත්, තවත් ලක්ෂ 11කට ආසන්න සංඛ්‍යාවක් බදු වාර්තා ලබා දීමට ඉතිරිව ඇති බවත් සඳහන් කළ දේශීය ආදායම් නියෝජ්‍ය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ජේ එම් එස් එස් රත්නවර්ධන, බදු ගෙවන්නන්ට අවසාන මොහොත වන තෙක් නොසිට වහාම එම කටයුතු සම්පූර්ණ කරන ලෙස ඉල්ලා සිටියේය.

මෙම අඩු ප්‍රතිශතයට හේතුව දැනුවත්භාවය නොමැතිකම හෝ තවමත් වේලාව තිබෙන බවට ඇති අනුමානය විය හැකි බවද ඔහු පැවසීය.

බදු ගෙවිය යුතු ආදායමක් නොමැති පුද්ගලයන් මෙන්ම, වැටුප් හෝ පොලී ආදායම්වලින් දැනටමත් බදු මුදල් කපාගෙන ඇති පුද්ගලයන් ඇතුළුව ලියාපදිංචි වී සිටින සියලුම දෙනා අනිවාර්යයෙන්ම ආදායම් බදු වාර්තා ඉදිරිපත් කළ යුතු බව ඔහු
අවධාරණය කළේය.

එසේ නොකරන පුද්ගලයන්ට රුපියල් 400,000 දක්වා වූ දඩ මුදලක් අය කළ හැකි අතර, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට අතිරේක තක්සේරුවක් නිකුත් කිරීමට හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇත. මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවේ වරදකරු වන පුද්ගලයකුට මාස හයක් දක්වා සිරදඬුවම් විඳීමට සිදුවිය හැකිය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය හරහා මෙම බදු වාර්තා මාර්ගගතව ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නන්දන කුමාර ප්‍රකාශ කළේය.

ඒ සඳහා බදු ගෙවන්නන්ට මුරපදයක් (Password) හෝ එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපදයක් (OTP) අවශ්‍ය වන අතර, ird.gov.lk වෙබ් අඩවියේ ඇති ‘Access to e-Services’ ඔස්සේ එය ලබාගත හැක.

බදු ගෙවන්නෙකුගේ විද්‍යුත් තැපැල් ලිපිනය යාවත්කාලීන කර නොමැති නම්, මුරපදය තැපැල් මඟින් ලබාගත හැකි අතර, නැතහොත් ජාතික හැඳුනුම්පතේ ස්කෑන් පිටපතක් සමඟින් ලිඛිත ඉල්ලීමක් ci@ird.gov.lk වෙත යොමු කිරීමෙන් විද්‍යුත් තැපෑල යාවත්කාලීන කරගත හැක.

ආදායම වැටුප් සහ පොලී ආදායම්වලට පමණක් සීමා වූවන්ට බොහෝ දුරට ස්වයංක්‍රීයව පිරවුණු සරල කළ බදු වාර්තාවක් භාවිත කළ හැකි අතර, ව්‍යාපාරික ආදායම් ලබන්නන් සම්මත බදු වාර්තාව ඉදිරිපත් කළ යුතුය. බදු වාර්තාව සාර්ථකව යොමු කිරීමෙන් පසු ලැබෙන ලැබීම් සහතික පත්‍රය ළඟ තබා ගැනීමට වගබලා ගන්නා ලෙස කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාලවල සිටින දේශීය ආදායම් නිලධාරීන් විසින් බදු ගෙවන්නන්ට නොමිලේ සහාය ලබා දෙන බව නියෝජ්‍ය දේශීය ආදායම් කොමසාරිස් ආචාර්ය නදී දිසානායක පැවසුවාය. ප්‍රධාන කාර්යාලයේ දෙවන මහලේ පිහිටි උපදේශන සහ ප්‍රවර්ධන ඒකකය මඟින් මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ යූ ටියුබ් නාලිකාව සහ ෆේස්බුක් පිටුව හරහාද උපදෙස් ලබාගත හැක. තාක්ෂණික සහාය සඳහා 1944 ක්ෂණික ඇමතුම් අංකය ඇමතිය හැකි නමුත්, සීමිත කාර්ය මණ්ඩලය හේතුවෙන් සුළු ප්‍රමාදයන් සිදු විය හැකි බවද ඇය සඳහන් කළාය.