October 20, 2026

චේතනාන්විතව සිදු කළ බව පැවසෙන මෝටර් රථ අනතුරකින් බරපතල තුවාල ලැබූ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ එක් පාදයක් කපා ඉවත් කිරීම කිරීමට සිදුව ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරෙන් දැඩි ලෙස තුවාල ලැබූ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හෙලන් හේන්ස් හදිසි ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර, එහිදී ඇගේ එක් පාදයක් ඉවත් කිරීමට සිදුවූ බව ඔස්ට්‍රේලියාවේ ABC නාලිකාව සහ ‘සිඩ්නි මෝනින් හෙරල්ඩ්’ පුවත්පත වාර්තා කළේය.

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් අගනුවරට ඊසානදෙසින් පිහිටි වන්ගරැටා හි පිහිටි මන්ත්‍රීවරියගේ ආසන කාර්යාලය ඉදිරිපිටදී මෙම අනතුර සිදුව ඇති අතර, පොලිසියට අමතරව ත්‍රස්ත මර්දන විමර්ශකයින් ද මේ වන විට ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා එක්ව සිටිති.

හෙලන් හේන්ස් මුහුණදුන් මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ මෙතෙක් අනාවරණය වූ තොරතුරු අනුව 65 හැවිරිදි හේන්ස්ගේ කාර්යාලය ඉදිරිපිටදී සුදු පැහැති මෝටර් රථයක ඇය ගැටී ඇති අතර, එහිදී ඇගේ සිරුරේ පහළ කොටසට දැඩි හානි සිදුවිය.

ඇසින් දුටුවන් උපුටා දක්වමින් ABC නාලිකාව වාර්තා කළේ, විශාල ශබ්දයක් ඇසුණු අතර පසුව කාන්තාවක වාහන දෙකක් අතර සිරවී සිටිනු දක්නට ලැබුණු බවයි.

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි අල්බනීස් සඳහන් කළේ, 43 හැවිරිදි සැකකාර රියදුරා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

හේන්ස් සිය මෝටර් රථයේ පසුපස කොටසින් භාණ්ඩ තබමින් හෝ ඉවත් කරමින් සිටියදී, අදාළ රථය ‘U’ හැරවුමක් ගෙන පැමිණ ඇගේ සිරුරේ ගැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අගමැතිවරයා පැවසීය.

“මෙය අහම්බෙන් සිදු වූ අනතුරක් නෙවෙයි. බැලූ බැල්මට මෙය සිතාමතාම කළ චේතනාන්විත ක්‍රියාවක්” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා ABC නාලිකාව වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.