October 6, 2026

ශ්‍රී ලංකාව, මාලදිවයින සහ මොරිෂස් යන ඉන්දියන් සාගර කලාපීය රටවල වරාය සහ විදුලි සංදේශ ජාල ඇතුළු තීරණාත්මක යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය දැවැන්ත උපායමාර්ගික සහයෝගීතාවයකට සැරසෙයි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර 2025 පෙබරවාරි මාසයේ පැවැති ද්විපාර්ශ්වික සමුළුවේදී ප්‍රකාශයට පත්කළ ‘ඉන්දියන් සාගර උපායමාර්ගික ව්‍යාපෘතිය’ මුලපිරීම යටතේ මෙම හවුල්කාරිත්වය ක්‍රියාත්මක වීමට නියමිතය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, ඉන්දියාව වරාය ඉදිකිරීමේදී විශිෂ්ට දක්ෂතාවයක් දක්වන බව සහ එම වරාය ඉදිකිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ හැකියාව අමෙරිකාව සතුව පවතින බවයි.

මෙම ප්‍රධාන රටවල දෙරටේ සම්පත් එක්රැස් කරමින් එම කටයුතු ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමුකරන බවත් ඒ අනුව වරාය සංවර්ධනය, සාගර ආරක්ෂාව මෙන්ම ඩිජිටල් යටිතල පහසුකම් කෙරෙහි අවධානය යොමුකර සිටින බවත් ඊට අමතරව 6G තාක්ෂණය සහ ඊළඟ පරම්පරාවේ තාක්ෂණික ප්‍රමිතීන් කෙබඳු විය යුතුද යන්නත්, ඇමෙරිකාවට සහ ඉන්දියාවට එහි නායකත්වය ගනිමින් හවුල්කරුවන් විය හැක්කේ කෙසේද යන්නත් පිළිබඳ කටයුතු කරන බවත් ඔහු පවසා ඇත.

මුහුදු තීරයේ ආරක්ෂාව සහ පාලනය ඉහළ නැංවීම සඳහා එක්ව කටයුතු කිරීමද දෙරටේ ප්‍රධාන අවධානයට යොමු වනු ඇත. කලාපය තුළ සිදුවන නීති විරෝධී ධීවර කටයුතු, මිනිස් ජාවාරම සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීමද ඊට ඇතුළත් වේ.

එමෙන්ම පර්යේෂණ නෞකා ලෙස පෙනී සිටිමින් සැරිසරන විදේශීය නෞකාවල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය හැකි බව රාජ්‍ය දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් ඉඟි කර සිටියේය.