October 10, 2026

දකුණු ඉන්දීය ප්‍රාන්තයක් වන තමිල්නාඩුවේ මහ ඇමති ලෙස කටයුතු කරන ප්‍රකට කොලිවුඩ නළු ජෝසප් විජේ ගේ තමිලග වෙට්‍රි කෂගම් (TVK) පක්ෂය, එරට පැවති අතුරු මැතිවරණවලදී ආසන දෙකම ජයග්‍රහණය කරමින් සිය බලය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

ඊයේ පැවැති මෙම අතුරු මැතිවරණයේදී ප්‍රාන්තයේ බලය හොබවන TVK පක්ෂය, ප්‍රධාන විපක්ෂ වන ද්‍රවිඩ මුන්නඒත්‍ර කසාගම් (DMK) සහ සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නඒත්‍ර කසාගම් (AIADMK) යන පක්ෂවල අපේක්ෂකයින් පරාජයට පත් කරමින් මදුරාන්තකම් සහ ධාරාපුරම් යන ආසන දෙකෙහිම විශිෂ්ට ජයග්‍රහණ වාර්තා කළේය.

මදුරාන්තකම් ආසනය සඳහා තරග කළ TVK අපේක්ෂක මරගතම් කුමාරවේල් ඡන්ද 74,048 ක් ලබාගනිමින් ජයග්‍රහණය කළ අතර, DMK පක්ෂයේ අයි. පරන්තමේන්ට ලබාගත හැකි වූයේ ඡන්ද 54,008 කි. එහිදී AIADMK අපේක්ෂකයා ඡන්ද 47,450 ක් ලබාගනිමින් තෙවන ස්ථානයට පත්විය.

එමෙන්ම ධාරාපුරම් ආසනයෙන් තරග කළ TVK අපේක්ෂක පී සත්‍යභාමා ඡන්ද 66,841 ක් ලබාගනිමින් ජයග්‍රහණය කළ අතර, ඡන්ද 57,370 ක් ලබාගත් DMK පක්ෂයේ එස් සුගන්යා දෙවන ස්ථානයට පත්විය. එහිදී AIADMK අපේක්ෂකයා ලබාගත්තේ ඡන්ද 45,280 කි.

2026 මැයි මාසයේදී විජේගේ පක්ෂය බලයට පත්වීමෙන් අනතුරුව, ඔහුගේ දේශපාලන ජනප්‍රියතාව මැන බලන ප්‍රධාන පරීක්ෂණයක් ලෙස මෙම මැතිවරණ සටන විචාරකයින් විසින් සලකනු ලැබීය.

මෙම ජයග්‍රහණයත් සමඟ TVK පක්ෂයට එම ආසන දෙකෙහිම බලය රඳවා ගැනීමට හැකිවූ අතර, අහිමි වූ ආසන නැවත ලබා ගැනීමට විපක්ෂයේ AIADMK පක්ෂය දැරූ උත්සාහය ව්‍යර්ථ විය.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු X ගිණුමේ සටහනක් තබමින් විජේ ප්‍රකාශ කළේ, තම පක්ෂය මෙම ජයග්‍රහණය ලබාගත්තේ ඡන්දදායකයින්ට මුදල් බෙදාදීමකින් හෝ වෙනත් අයුතු අල්ලස් දීම්වලින් තොරව බවයි. තමිල්නාඩුව යනු දූෂිත බලවේගවලට නතු වූවක් නොව මහජන බලයේ අභිමානවත් මධ්‍යස්ථානයක් බව මෙම ප්‍රතිඵලයෙන් තහවුරු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.