October 6, 2026

දිවයින පුරා ඉන්ධන හිඟයක් හෝ බෙදාහැරීමේ බාධාවක් නොමැති බැවින් කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින ලෙස ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එම සංගමයේ සභාපති ඒ එම් එච් අධිකාරි පවසා ඇත්තේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් වේලාවට ඉන්ධන ඇණවුම් නොකිරීම හේතුවෙන් පිරවුම්හල් කිහිපයක පෝලිම් දක්නට ලැබුණු බවයි.

ඉන්ධන ප්‍රවාහන කොමිස් ගාස්තු සම්බන්ධයෙන් සංගමයේ අවධානය යොමුව ඇති කරුණු පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, පවතින කොමිස් මුදල් සම්බනධ සූත්‍රය සංශෝධනය කළ යුතුව ඇති බවයි.

වත්මන් සූත්‍රය මගින් කඳුකර සහ දකුණු පළාත් සඳහා වන ප්‍රවාහන කොමිස් ගාස්තු සලකා බලා නොමැති බව පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් එම සංගමය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති අතර, මගහැරී ඇති කොමිස් කොටස් ද ඇතුළත් කරමින් අදාළ සූත්‍රය සංශෝධනය කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව ද වැඩිදුරටත් සඳහන් කළේය.