October 4, 2026

කෘත්‍රිම බුද්ධිය අවභාවිත කරමින් ප්‍රකට බොලිවුඩ් රංගන ශිල්පිනී ජාන්වී කපූර්ගේ රූපරාමු යොදා සකස් කරන ලද අසභ්‍ය වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වීමත් සමඟ බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය තුළ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.

මෙම ක්‍රියාවට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව තෙළිගු සහ බොලිවුඩ් සිනමා නළු ජූනියර් එන්.ටී.ආර්. අවධාරණය කර ඇත.

2024 වසරේ තිරගත වූ Devara, Part 1 චිත්‍රපටයේ ජූනියර් එන්.ටී.ආර්. සහ ජාන්වී කපූර් රංගනයෙන් දායක වූ ‘චුට්ටමල්ලේ’ නැමැති ජනප්‍රිය ගීතයේ දර්ශන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විකෘති කරමින් මෙම වීඩියෝව සකසා තිබේ.

මුල් ගීත දර්ශනවල නොතිබූ අසභ්‍ය ස්වරූපයක් මවමින් සකස් කළ මෙම වීඩියෝපටය පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර යන ලදී.

මෙම ව්‍යාජ වීඩියෝව හෙළාදකිමින් ප්‍රකාශයක් නිකුත් කළ ජූනියර් එන්.ටී.ආර්. සඳහන් කර ඇත්තේ, මෙවැනි වීඩියෝ නිර්මාණය කිරීම සහ හුවමාරු කිරීම අතිශයින්ම පිළිකුල් සහගත, විකෘති සහ ලැජ්ජා නැති ක්‍රියාවක් බවයි.

මෙම අපරාධයට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව උපරිම මට්ටමින් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පවසා ඇති ඔහු, අදාළ වීඩියෝව නැරඹීමෙන්, සංසරණය කිරීමෙන් හෝ ඊට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙස සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම කෘත්‍රිම බුද්ධිය අවභාවිත කරමින් සිදුකරන මෙවැනි සයිබර් අපරාධ වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි නීති පද්ධතියක් සකස් කරන ලෙස ඔහු ඉන්දීය මධ්‍යම සහ ප්‍රාන්ත රජයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

මෙම සිදුවීමත් සමඟ ජාන්වී කපූර් වෙනුවෙන් පෙනීසිටිමින් බොලිවුඩ් සහ තෙළිගු සිනමා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ රංගන ශිල්පීන් රැසක්ම සිය විරෝධය පළකර ඇත.

ප්‍රවීණ රංගන ශිල්පී චිරන්ජීවි සඳහන් කර ඇත්තේ, කාන්තාවන් ඉලක්ක කරගනිමින් AI තාක්ෂණය ඔස්සේ මෙලෙස විකෘති කළ අසභ්‍ය වීඩියෝ තැනීම පිළිබඳව තමන් දැඩි ලෙස කම්පනයට පත් වූ බවයි.

මේ සම්බන්ධයෙන් තෙළිගු සිනමා සංගම් සමඟ සාකච්ඡා කර, මෙවැනි සයිබර් ප්‍රහාරවලට ලක්වන ශිල්පීන් වෙනුවෙන් විශේෂ සහායක යාන්ත්‍රණයක් සහ කමිටුවක් පිහිටුවීමට යෝජනා කරන බවද ඔහු පවසා තිබේ.

එමෙන්ම ජනප්‍රිය රංගන ශිල්පී විජේ දේවරකොන්ඩා ද මෙම සිදුවීම හෙළාදකිමින් වගකිවයුත්තන්ට තරාතිරම නොබලා දඬුවම් දිය යුතු බව පවසා ඇත.

පුද්ගලයන්ගේ කැමැත්තකින් තොරව ඔවුන්ගේ රූපරාමු යොදාගනිමින් අසභ්‍ය දර්ශන නිර්මාණය කිරීමට AI තාක්ෂණය අවභාවිත කිරීමේ ප්‍රවණතාව ඉහළ යාම, මේ වන විට ඉන්දියාව තුළ දැඩි ආන්දෝලනයකට සහ සංවාදයකට තුඩු දී තිබේ.