October 2, 2026

ස්ටොක්හෝම් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් හරහා ස්වීඩන පාසල් ළමුන් පිරිසකට මාටින් වික්‍රමසිංහයන්ගේ සම්භාවනීය ‘මඩොල් දූව’ ළමා නවකතාවේ ස්වීඩන පරිවර්තනය ඇසුරෙන් ශ්‍රී ලාංකේය සාහිත්‍යය සහ සංස්කෘතිය හඳුන්වා දී ඇත.

තානාපති කාර්යාලයට අනුව, නවීන සිංහල සාහිත්‍යයේ පියා ලෙස සැලකෙන මාටින් වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය කෘති පිළිබඳව ස්වීඩන කුඩා පාඨකයන් දැනුවත් කිරීමත්, ශ්‍රී ලාංකේය පරම්පරාගත උරුමයන් සහ සංස්කෘතිය පිළිබඳව අවබෝධයක් ලබාදීමත් මෙම වැඩසටහනේ අරමුණ විය.

මෙම වැඩසටහන අතරතුර, ළමුන්ට කතාව, එහි චරිත සහ නවකතාවෙන් පිළිඹිබු වන සංස්කෘතික අංග පිළිබඳව හඳුන්වාදී තිබේ.

‘මඩොල් දූව’ කෘතිය ස්වීඩන භාෂාවට පරිවර්තනය කළ ප්‍රියන්වදා එම්. බන්ඩුවර්ධන විසින් පොතේ පරිච්ඡේදයක් කියවා ඇති අතර, ඉන් අනතුරුව කතාව, ශ්‍රී ලංකාව සහ එහි සංස්කෘතිය පිළිබඳව සිසුන් සමඟ සාකච්ඡාවක් ද පවත්වා ඇත.

එමෙන්ම, නවකතාවෙන් ආභාසය ලබාගනිමින් එහි තේමාවන් සහ චරිත තමන්ගේම නිර්මාණාත්මක සිතුවිලි ඔස්සේ ඉදිරිපත් කිරීමට ළමුන් සඳහා චිත්‍ර ඇඳීමේ අංශයක් ද සංවිධානය කර තිබේ.

වැඩසටහන අවසානයේදී, පැමිණ සිටි කුඩා පිරිසට ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාරය සහ ආහාර සංස්කෘතිය අත්විඳීමට අවස්ථාව ලබාදෙමින් සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය කෙටි ආහාර සහ සිලෝන් තේ සංග්‍රහ කර ඇත.

දෙරට අතර ජනතාව අතර පවතින සබඳතා ශක්තිමත් කරන අතරම, ස්වීඩනය තුළ ශ්‍රී ලාංකේය සාහිත්‍යය සහ කලාව ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයේ එක් පියවරක් ලෙස මෙම වැඩසටහන සංවිධානය කළ බව තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.