September 30, 2026

ඉස්ලාම් දහමට සහ ශුද්ධ වූ කුරාණයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (30) වරෙන්තු නිකුත් කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනීනොසිටි අතර, භික්ෂුවගේ ඇපකරුවන් ද අධිකරණයේ පෙනීසිටියේ නැත.

ඥානසාර භික්ෂුව අසනීප තත්ත්වයෙන් පසුවන බවට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ නීතිඥ අසෝක වීරසූරිය කියාසිටියේ, මෙම නඩුව කෙටියෙන් අවසන් කරගැනීම සඳහා නීතිපතිවරයා වෙත නියෝජනයන් ඉදිරිපත් කර ඇති බවයි.

කෙසේවෙතත්, ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව ප්‍රමාණවත් නොවන බවත්, ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනීසිටීමට අපොහොසත් වී ඇති බවත් පෙන්වාදුන් මහාධිකරණ විනිසුරුවරයා, විත්තිකාර ඥානසාර භික්ෂුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කළේය.