September 29, 2026

යාපනය, නල්ලූර්හි පිහිටි තිලීපන් ස්මාරක පරිශ්‍රයේ තැන්පත් කර තිබූ හිටපු LTTE සාමාජිකයකු වන රාසයියා පාර්තිපන් නොහොත් තිලීපන්ගේ ප්‍රතිමාව ඉවත් කර ඇත්තේ අදාළ ප්‍රදේශයේ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව බව රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී, යාපනය නල්ලූර්හි පිහිටි තිලීපන් ස්මාරක පරිශ්‍රයෙන් හිටපු LTTE සාමාජික තිලීපන්ගේ ප්‍රතිමාව ඉවත්කිරීම සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළකළේය.

එහිද ඇමැති නලින්ද ජයතිස්ස සඳහන් කරන ලද්දේ, පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර එම ප්‍රතිමාව සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය හමුවේ නඩු කටයුත්තක් විභාග වෙමින් පවතින බවයි.

පසුගිය වසරවල සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන තිලීපන්ගේ ගුණසමරු උත්සව සඳහා ඔහුගේ ඡායාරූප පමණක් භාවිත කළද, ප්‍රතිමාවක් ස්ථාපනය කර තිබූ පළමු අවස්ථාව මෙය බව ඔහු අනාවරණය කරන ලදී.

LTTE සංවිධානය තහනම් කරන ලද සංවිධානයක් වන අතර රටේ නීතිය අනුව තහනම් සංවිධානයක කොඩි, ලාංඡන ඇතුළු ඒවා ප්‍රවර්ධනය කිරීමට කිසිදු ඉඩක් නොමැති බවත්, එවැනි ක්‍රියාකාරකම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, ප්‍රතිමාව ඉවත්කිරීමට පෙර පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් සිදුවන නඩුව අධිකරණය හමුවේ විමර්ශනය වෙමින් පවතින බවත් ඔහු තව දුරටත් පැහැදිලි කළේය.

රට තුළ විටින් විට වාර්ගික ආතතීන් ඇතිකිරීමට විවිධ පාර්ශ්ව උත්සාහ දරන නමුත්, රජය එවැනි ක්‍රියාවන් කිසිසේත් ඉවසා නොසිටින බවත්, ඊට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නා බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

තිලීපන්ගේ 39 වැනි සැමරුම් උත්සවය අදාළ ස්ථානයේදී අවසන් වී දිනකට පසුව, එනම් ඉරිදා (27) පොලිසිය විසින් මෙම ප්‍රතිමාව ඉවත්කිරිම සිදුකළේය.

ඉන්දීය රජයට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් නල්ලූර්හිදී උපවාසයක නිරත වූ තිලීපන්, 1987 සැප්තැම්බර් මාසයේදී මියගියේය.