September 20, 2026

ආබාධයක් හේතුවෙන් එංගලන්තයට එරෙහිව දැනට පැවැත්වෙන T 20 ක්‍රිකට් තරගාවලිය අහිමි වූ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක කුසල් මෙන්ඩිස්, දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින තරග 3කින් යුත් තරගාවලියට පෙර නැවතත් කණ්ඩායම හා එක්වීමට වැඩි ඉඩකඩක් පවතින බව කණ්ඩායම් කළමනාකරු මහින්ද හලංගොඩ පවසයි.

පාදයේ ආබාධයකින් පෙළුණු කුසල් මෙන්ඩිස්ට මීට පෙර පැවැති සංචාර කිහිපයක් සහ එංගලන්ත T20 තරගාවලිය අහිමි විය.

ඔහු නොමැතිවීම නිසා T20 කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමි විය.

මෙන්ඩිස් මේ වන විට ආබාධයෙන් සුවය ලබා ඇති අතර, දේශීය T 20 තරග කිහිපයකටද සහභාගී වී සාර්ථක ලෙස ක්‍රීඩා කර තිබේ.

කෙසේවෙතත්, එංගලන්තය බලා පිටත්ව යෑමට පෙර ඔහු තරගකාරී ශාරීරික යෝග්‍යතාවයෙන් පසුවන්නේදැයි තහවුරු කරගැනීම සඳහා විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දිය යුතු අතර, එක්දින තරගාවලියට ඔහුගේ සහභාගීත්වය තීරණය වන්නේ එම පරීක්ෂණයේ ප්‍රතිඵලය මතය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරග 3 සැප්තැම්බර් 22 සිට 27 දක්වා ඩර්හැම්, ලීඩ්ස් සහ ලංඩනයේ කියා ඕවල් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය.