September 20, 2026

තම පත්වීම අසාධාරණ සහ නිසි ක්‍රමවේදයකින් තොරව අවලංගු කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ රුපියල් මිලියන 75 ක වන්දියක් අය කරගැනීම සඳහා කොළඹ වාණිජ මහා අධිකරණයේ නඩුවක් පවරා තිබේ.

සැප්තැම්බර් 19 වැනි දින නිකුත් කරන ලද ජනමාධ්‍ය නිවේදනයකට අනුව, ප්‍රමෝදය වික්‍රමසිංහ පෙන්වාදෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව 2025 දෙසැම්බර් 17 වැනි දින ආරම්භ වූ සිය දෙවසරක පත්වීම, ක්‍රිකට් පරිවර්තන කමිටුව (Cricket Transformation/Interim Committee) විසින් කාලයට පෙර අත්තනෝමතික ලෙස අහෝසි කර ඇති බවයි.

පූර්ව දැනුම්දීමකින්, ප්‍රමාණවත් සාධාරණීකරණයකින් හෝ නිසි නෛතික ක්‍රියාපටිපාටියකින් තොරව මෙම තීරණය ගෙන ඇති බවට ඔහු චෝදනා කරයි.

පවතින කොන්ත්‍රාත් පත්වීමක් ක්ෂණිකව අවසන් කිරීම මගින් අදාළ කමිටුව අතාර්කික ලෙස සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යහපතට පටහැනිව කටයුතු කර ඇති බව ප්‍රමෝදය වික්‍රමසිංහ වැඩිදුරටත් කියාසිටියි.

ගිවිසුම කඩකිරීම, ආදායම් අහිමිවීම සහ සිය වෘත්තීය කීර්තිනාමයට සිදු වූ හානිය වෙනුවෙන් අදාළ පොලිය සහ නීතිමය ගාස්තු ද සමඟින් රුපියල් මිලියන 75 ක වන්දියක් අය කරදෙන ලෙස ඔහු මෙම නීතිමය ක්‍රියාමාර්ගය හරහා ඉල්ලා සිටී.

වසර දෙකක පත්වීම භාරගැනීමෙන් පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සිය කාලය සහ දැනුමය කැපකිරීම සඳහා තමාගේ අනෙකුත් වෘත්තීය කටයුතු සහ ව්‍යාපාරික කටයුතු පසෙක තැබීමට සිදුවූ බව ද ඔහු පවසයි.

අදාළ නිවේදනයට අනුව, මෙලෙස කාලයට පෙර පත්වීම අහෝසි කිරීම හේතුවෙන් කොන්ත්‍රාත්තුව යටතේ හිමිවිය යුතුව තිබූ වේතනය අහිමි වූ අතර, කැපකරන ලද ව්‍යාපාරික හා වෘත්තීය අවස්ථාවන් හේතුවෙන් අමතර මූල්‍ය පාඩුවලට ද මුහුණ දීමට සිදුව ඇත.

එමෙන්ම, කමිටුවේ මෙම ක්‍රියාකලාපය නිසා සිය වෘත්තීය තත්ත්වයට, විශ්වසනීයත්වයට සහ කීර්තිනාමයට දැඩි හානියක් සිදුවූ බවද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සඳහන් කරයි.

තේරීම් කමිටු සභාපතිවරයා ලෙස සිය පෙර ධුර කාලය තුළ ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණ කිහිපයක් ද මෙම නිවේදනයේ දක්වා ඇත.

2022 T20 ආසියානු කුසලාන ජයග්‍රහණය, 2023 ආසියානු කුසලානයේ අනුශූරතාව දිනාගැනීම සහ 2023 ICC ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අ පරාජිතව ජයග්‍රහණය කිරීම ඊට ඇතුළත් වේ.