September 19, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ආගමකට අපහාස වන අයුරින් පළකරන ලද සටහනක් හේතුවෙන්, ​සවුදි අරාබියේදී අධිකරණ දඬුවමකට ලක්ව සිටින අනෝජන් සහෝදරයාගේ දඬුවම ලිහිල් කරවා ඔහුව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම වෙනුවෙන් ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් විශේෂ මැදිහත්වීමක් සිදුකරමින් සිටින බව ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයට අනුව, ​මෙම සංවේදී ගැටලුව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විසඳාගැනීම සඳහා අදාළ සියලුම නිල පාර්ශ්වයන් දැනටමත් දැනුවත් කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මෙන්ම රියාද් නුවර පිහිටා තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජෙද්දා නුවර පිහිටා තිබෙන ශ්‍රී ලංකා මහ කොන්සල් කාර්යාලය සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.

​මීට අමතරව ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යයවරයා වශයෙන්, ශ්‍රී ලංකාවේ පිහිටි සවුදි අරාබි තානාපති කාර්යාලය සමඟ සෘජුව සම්බන්ධ වෙමින් සෞදි රජය සමඟ අවශ්‍ය සාකච්ඡා ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇත.

​තවද, මෙම ක්‍රියාවලිය වඩාත් සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සහ සවුදි අරාබියේ වෙසෙන ප්‍රධාන පෙළේ මුස්ලිම් ආගමික නායකයන්ගේ අවධානය සහ සෘජු මැදිහත්වීම ලබාගැනීමේ අරමුණින් නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් එම නායකයන් සමඟ ද පෞද්ගලිකවම සාකච්ඡා පවත්වමින් සිටියි.

​මෙම බහුපාර්ශ්වීය මැදිහත්වීම් හරහා අනෝජන්ට සහනයක් ලබාදී ඔහුව සුරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි රජය බලාපොරොත්තු වේ.