September 19, 2026

වෙනස් වන කාලගුණික රටාවන් හමුවේ රටේ ජල ආරක්ෂණය ශක්තිමත් කිරීම සඳහා සරල මෙන්ම පරිවර්තනීය විසඳුමක් ලෙස වැසි ජලය රැස්කිරීමේ ක්‍රමවේදය වැළඳ ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් සංගක්කාර පෙන්වාදෙන්නේ, ශ්‍රී ලංකාවට බහුල ලෙස වර්ෂාපතනය ලැබුණද, බොහෝ ප්‍රජාවන්ට තවමත් විශ්වාසදායක ලෙස ජලය ලබාගැනීමේ පහසුකම් නොමැති බවයි.

තම බෑණා (ලංකා වැසි ජල රැස්කිරීමේ සංසදයේ පුහුණුව ලැබූ ඔහුගේ බෑණනුවන්) සම්බන්ධ වූ Lanka Rain Water Harvesting Forum හි කාර්යභාරය ඇගයීමට ලක්කළ ඔහු, වැසි ජලය රැස්කිරීම මගින් මිනිස් ජීවිත වෙනස් වන ආකාරය තමා සෘජුවම නිරීක්ෂණය කළ බව සඳහන් කළේය.

“සියවස් ගණනාවක් පුරා ශ්‍රී ලංකාව ජලයේ වටිනාකම තේරුම් ගෙන සිටියා. අද කාලගුණික රටාවන් වෙනස් වන විට, එම අතීත ප්‍රඥාව වෙන කවරදාටත් වඩා වැදගත් වෙනවා” යැයි සංගක්කාර පවසයි.

“ස්වභාවධර්මයෙන් දැනටමත් ලැබෙන දේ භාවිතා කරමින්” පවුල්, පාසල් සහ ප්‍රජාවන්ට ශක්තිමත්ව නැගී සිටීමට වැසි ජලය රැස්කිරීම උපකාරී වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මෙය “දීර්ඝකාලීන බලපෑමක් සහිත සරල විසඳුමක්” ලෙස හඳුන්වන සංගක්කාර, අද දින සුරකින සෑම ජල බිංදුවක්ම ශ්‍රී ලංකාවේ හෙට දිනය සුරක්ෂිත කිරීමට උපකාරී වන බව අවධාරණය කළේය.(Newswire.lk)