September 19, 2026

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද, කොළඹ සිටින විදේශීය රාජ්‍යතන්ත්‍රික ප්‍රධානීන් සඳහා වන විශේෂ තෙදින සංචාරක සංවර්ධන අධ්‍යයන චාරිකාව ඊයේ (18) ආරම්භ විය.

මෙම රාජ්‍යතන්ත්‍රික නියෝජිත පිරිස ඊයේ උදෑසන කොළඹ හිල්ටන් හෝටලයෙන් පිටත්ව පාසික්කුඩා හි පිහිටි Anantaya Resort and Spa වෙත ළඟා වී තිබේ.

පාසික්කුඩා වෙරළ තීරයේ නිරීක්ෂණයක නිරත වූ මෙම නියෝජිත පිරිස, පස්වරුවේ කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ගේ අත්කම් භාණ්ඩ ප්‍රදර්ශනයකටද එක්වීමට නියමිතව තිබිණි.

නැගෙනහිර පළාතේ අනන්‍ය වූ සංස්කෘතික, සාමාජික හා ආර්ථික වටිනාකම් මෙන්ම එහි පොහොසත් උරුමය සහ සංචාරක සංවර්ධන හැකියාවන් අන්තර්ජාතික ප්‍රජාව වෙත ප්‍රදර්ශනය කිරීම මෙම අධ්‍යයන චාරිකාවේ ප්‍රධාන අරමුණ වේ.

මෙම තෙදින සංචාරය අතරතුර, විදේශීයරාජ්‍ය තන්ත්‍රිකයන් නැගෙනහිර පළාතේ දේශපාලන නායකයන්, මහජන නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් හමුවී ඉදිරි ආයෝජන සහ ප්‍රාදේශීය සංවර්ධන අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම පියවර මගින් නැගෙනහිර පළාතේ ආයෝජන සහ සංචාරක හැකියාවන් අන්තර්ජාතික තලයට ප්‍රවර්ධනය කිරීමටත්, අන්තර්ජාතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාවේ දිගුකාලීන තිරසාර සංචාරක වර්ධනයට දායක වීමටත් හැකිවනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

සංචාරයේ දෙවැනි දිනය වන අද (19), මෙම නියෝජිත පිරිස එරාවූර් අපනයන සැකසුම් කලාපය, සෙරුවිල මංගල රජමහා විහාරය සහ ත්‍රිකුණාමලයේ කෝණේෂ්වරම් කෝවිල නැරඹීමට නියමිතව තිබිණි.

ඔවුන් මෙම අධ්‍යයන සංචාරයේ තෙවන සහ අවසන් දිනය වන සැප්තැම්බර් 20 වැනි දින නැවත කොළඹ බලා පැමිණීමට නියමිතව ඇත.