September 18, 2026

වසර සියයකට පසුව ප්‍රථම වරට විද්‍යාඥයින් විසින් මේ දක්වා හඳුනාගෙන නොතිබූ නව කැළෑ බළලුන් විශේෂයක් සොයා ගැනීමට පර්යේෂකයින් සමත් වී තිබේ.

Leopardus tilcayo ලෙස නම් කර ඇති මෙම බළලා සිහින් සිරුරකින් සහ ලප සහිත රෝම තට්ටුවකින් යුක්ත වන අතර, උගේ කන් වටකුරු ස්වභාවයක් ගනී.

සාමාන්‍ය ගෘහස්ථ බළලෙකුට වඩා ප්‍රමාණයෙන් කුඩා වන මෙම සතුන් ජීවත් වන්නේ ඇන්ඩීස් කඳුකරය සහ ඇමසන් ද්‍රෝණිය හමුවන Bolivian Yungas වනාන්තර කලාපයේ ය.

මෙම නව විශේෂය පිළිබඳ මුල්ම විද්‍යාත්මක විස්තරය පසුගිය බ්‍රහස්පතින්දා ‘Current Biology’ සඟරාවේ පළ කර ඇත.

සාමාන්‍යයෙන් අලුතින් සොයාගනු ලබන සත්ව විශේෂ ප්‍රමාණයෙන් ඉතා කුඩා වන අතර, මේ ආකාරයේ තරමක් විශාල ක්ෂීරපායී සතෙකු සොයා ගැනීමට ලැබීම දුර්ලභ සිදුවීමකි.

බොලීවියානු කැළෑ බළලුන් පිළිබඳ පර්යේෂණ සහ සංරක්ෂණ වැඩසටහනේ මෙහෙයුම් ප්‍රධානී මෙන්ම මෙම අධ්‍යයනයේ සම-කර්තෘවරියක වන පාඕලා නොගාලෙස්-අස්කාරුන්ස් පවසන්නේ, “මෙවර සොයාගෙන තිබෙන්නේ බළල් පවුලට අයත් සතෙක්. ඒක ඇත්තටම අලුත්ම දෙයක්. මෙවැනි සොයාගැනීමක් සිදු වුණේ වසර 100කට පසුවයි. මීට පෙර කිසිවෙකු මේ සතාව නම් කරලවත්, විස්තර කරලවත් තිබුණේ නැහැ,” යනුවෙනි.

කෙසේ වෙතත්, මෙම බළලුන්ගේ සමස්ත ගහනය කොපමණද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි තොරතුරක් අනාවරණය වී නොමැත.

‘නැෂනල් ජියෝග්‍රැෆික්’ ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ සංරක්ෂණ කටයුතුවල නිරත වන නොගාලෙස්-අස්කාරුන්ස් වැඩිදුරටත් සඳහන් කළේ, වනගතව මෙම බළලුන් කී දෙනෙක් ජීවත් වෙනවාද යන්න පිළිබඳව තවම නිවැරදි අදහසක් නොමැති බවයි.

එම සතුන්ගේ සංරක්ෂණය සඳහා ඉතාම වැදගත් වන මෙම ප්‍රශ්නයට පිළිතුරු සපයා ගැනීමට නම් තවදුරටත් විද්‍යාත්මක පර්යේෂණ සහ අධ්‍යයනයන් සිදු කිරීම අත්‍යවශ්‍ය බව ද ඇය පැවසුවාය.

දකුණු සහ මධ්‍යම ඇමරිකාවට ආවේණික Leopardus කුලයට අයත් මෙම කුඩා වන බළලුන්, නාගරීකරණය සහ කෘෂිකාර්මික කටයුතු ව්‍යාප්ත වීම හේතුවෙන් දැඩි පැවැත්මේ තර්ජනයකට මුහුණ පා සිටිති. නවතම අධ්‍යයනයට අනුව දකුණු ඇමරිකාවෙන් දැනට වාර්තා වන කොටි බළල් විශේෂ ගණන 5කි.