September 13, 2026

පවුල් සබඳතාවලට කිසිදු සැලකිල්ලක් නොදක්වමින් නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක කරන බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක, රාජපක්ෂ පවුල සහ අනුරාධපුරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළිය දැඩි ලෙස විවේචනය කළේය.

“දැන් අඬන්නේ නැතුව මීට කළින් හොරකම් කරන්න එපා කියලා තාත්තලා දරුවන්ට කියන්න තිබුණා. අම්මා වුනත්, ආච්චි වුනත් නීතිය හැමෝටම එක සමානයි. මහජන මුදල් හොරකම් කරපු කිසිම කෙනෙක් ගැන අපේ හිතේ අනුකම්පාවක් නෑ” යනුවෙන් ජනාධිපති දිසානායක පැවසීය.

ඊයේ (12) පොළොන්නරුවේ පැවැති ජාතික ජන බලවේගයේ ගොවි සමුළුව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ, රාජපක්ෂ පවුල සහ වංචා දූෂණ සම්බන්ධයෙන් දැනට සිදුවෙමින් පවතින විමර්ශන කෙරෙහි අවධානය යොමුකරමිනි.

අනුරාධපුරයේ පැවැත්වෙන පොහොට්ටු රැළිය ඉලක්ක කරගනිමින් අදහස් දැක්වූ ඔහු කියාසිටියේ, වංචා චෝදනාවලට ලක්වී සොයමින් සිටින පුද්ගලයන් කිහිපදෙනකුම එම රැස්වීමෙන් සොයාගත හැකි බවයි.

“අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව එතැනට ගියොත් ඒ ඔක්කොම එක තැනකින් අල්ලගන්න පුළුවන්” යැයි ජනාධිපතිවරයා පැවසීය.

අනුරාධපුරයේ පැවැත්වෙන මෙම රැළිය මහජන සුභසිද්ධිය උදෙසා පවත්වන්නක් නොවන බවත්, චෝදනාවලට ලක්ව සිටින පිරිස නීතියෙන් බේරී තමන්ව ආරක්ෂා කර ගැනීමට දරන උත්සාහයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් චෝදනා කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂයේ ප්‍රධානීන් රැසකගේ සහභාගීත්වයෙන් අනුරාධපුරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශාල දේශපාලන රැළියක් පවත්වන අතරතුර ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පුළුල් බඳ සහිත ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගතව සිටින පසුබිමක, පොහොට්ටුවේ අනුරාධපුර රැළිය සංවිධානය කර තිබීම විශේෂත්වයකි.