September 12, 2026

18 වැනි බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සමගාමීව නවදිල්ලියේදී පැවැති ද්විපාර්ශ්වික හමුව අතරතුරදී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත අතීත දෙමළ සම්භාව්‍ය කෘතියක් වන ‘තිරුක්කුරල්’ හි රුසියානු පරිවර්තනයක් තෑගි කර තිබේ.

දෙමළ කවියකු වූ තිරුවල්ලුවර් විසින් රචිත මෙම කෘතියේ ඇතුළත් සදාරම, ධනය, යහපාලනය, නීතිගරුකභාවය සහ ආදරය වැනි තේමාවන් ආවරණය වන පරිදි රචිත කුරල් 1,330ක් මෙම රුසියානු සංස්කරණයට ඇතුළත් වේ.

මෙම විශේෂ සංස්කරණය ඉන්දියාවේ සම්භාව්‍ය දෙමළ පිළිබඳ මධ්‍යම ආයතනය විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර, එය රුසියානු භාෂාවට පරිවර්තනය කර ඇත්තේ නයිරා ම්ක්‍ර්ට්චෙයාන් විසිනි.

අගමැති මෝදි මීට පෙරද ඉන්දීය සංස්කෘතික උරුමය විදහා දක්වන තෑගි රුසියානු ජනාධිපතිවරයා වෙත පිරිනමා ඇත.

ඒ අනුව 2024 වසරේ කසාන් හි පැවැති බ්‍රික්ස් සමුළුවේදී ජාර්කන්ඩ් ප්‍රදේශයේ ‘සොහ්රායි’ චිත්‍රයක් ද, 2025 වසරේදී භගවත් ගීතාවේ රුසියානු පරිවර්තනයක්, අසාම් තේ සහ රිදී අශ්ව ප්‍රථිමාවක් ද ඔහු වෙත තෑගි කර තිබිණි.

නවදිල්ලියේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට පෙර සිකුරාදා දින අගමැති මෝදි සහ ජනාධිපති පුටින් අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී මෙම තෑගි හුවමාරුව සිදුවිය.