September 12, 2026

ජපානයේ අයිචි-නගෝයා හි පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන සාමාජිකයින් 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා පිරිමි 20-20 ක්‍රිකට් සංචිතය නම් කර ඇති අතර, ඊට අන්තර්ජාතික අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනකුම ඇතුළත් කර ඇත.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව නිකුත් කළ ලැයිස්තුවට අනුව මෙම 15 දෙනාගෙන් යුත් සංචිතයට නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, නුවනිඳු ප්‍රනාන්දු, දුෂාන් හේමන්ත, ප්‍රමෝද් මදුෂාන් සහ විජයකාන්ත් වියස්කාන්ත් ඇතුළත් වේ.

ලසිත් ක්රූස්පුල්ලේ, සහන් ආරච්චිගේ, තරිඳු හසංක, වනූජ සහන් කුමාර, කේෂාන් තත්සර ද ලිවේරා සහ සිනෙත් ජයවර්ධන යන ක්‍රීඩකයන් සංචිතයේ සෙසු සාමාජිකයන් වේ.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අශාන් ප්‍රියංජන් කටයුතු කරන අතර, වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස අනුෂ සමරනායකද, දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දනද කටයුතු කරනු ලබයි.

ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 3 දක්වා ජපානයේදී පැවැත්වීමට නියමිතය.

ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය සමඟින් ප්‍රමුඛතා ශ්‍රේණිගත කිරීම් හිමි කරගෙන ඇති ශ්‍රී ලංකාව, කෙළින්ම තරගාවලියේ Knockout වටයෙන් තරග බිමට පිවිසෙනු ඇත.