September 12, 2026

අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනී ගායනා කළ, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචිත ගීත වාණිජ පරමාර්ථයෙන් නැවත ගායනා කිරීම, ප්‍රතිනිර්මාණය කිරීම හෝ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බව දැනුම් දී තිබේ.

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ උපදෙස් මත ‘කැපිටල් සිටි ලෝ’ (Capital City Law) නීතිඥ සමාගම විසින් නිකුත්කර ඇති නිවේදනයක් මඟින් මේ බව දැනුම් දී ඇත.

එම නිවේදනයට අනුව, අදාළ ගීත වාණිජ අරමුණින් නැවත ගායනා කර පටිගත කිරීම, ‘කවර් වර්ෂන්’ ලෙස ප්‍රතිනිර්මාණය කිරීම මෙන්ම උපහාර හෝ අනුස්මරණ ප්‍රසංගවලදී ගායනා කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබේ.

එමෙන්ම, අදාළ ගීත වාණිජ පරමාර්ථයෙන් මහජනතාව වෙත විකාශය කිරීම හෝ රචකයාගේ සදාචාරාත්මක අයිතීන් උල්ලංඝනය වන ආකාරයෙන් භාවිත කිරීම සම්බන්ධයෙන්ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම නිවේදනයේ සඳහන් වේ.

මෙම පියවර 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ විධිවිධාන මෙන්ම, මහාචාර්ය සුනිල් ආරියරත්න සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) සහ Cey Music යන සාමූහික කළමනාකරණ සංවිධානවල රෙගුලාසි අනුව ගෙන ඇති බවද නීතිඥ සමාගම පවසයි.

අදාළ ගීත සම්බන්ධ බුද්ධිමය දේපළ හා වාණිජ අයිතීන් සම්බන්ධයෙන් මීට පෙර මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු අංක 22070/05 සහ පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ SC Appeal No. 155/2014 නඩු තීන්දුව මඟින්ද අදාළ අයිතීන් පිළිගෙන ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව, අදාළ හිමිකම් උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයන්ට හෝ ආයතනවලට එරෙහිව බුද්ධිමය දේපළ පනත යටතේ සිවිල් හා අපරාධ නඩු පැවරීමට කටයුතු කරන ලෙස සිය සේවාදායකයා උපදෙස් දී ඇති බව නීතිඥ සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේවෙතත්, වාණිජ නොවන අරමුණින් පාසල්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල සිදුකරන අධ්‍යාපනික ගායනා සඳහා මෙම නීතිමය ක්‍රියාමාර්ග අදාළ නොවන බවද එම නිවේදනයේ පැහැදිලි කර තිබේ.

එමෙන්ම ගුවන්විදුලි හෝ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වන ආධුනික ගායනා තරග වැනි වාණිජ නොවන කටයුතු සඳහාද මෙම වළක්වාලීම අදාළ නොවන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

(උපුටාගැනීම – Mirror Arts)