September 11, 2026

මෙවර ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උලෙළට එක්වන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු රටවල් 10ක ක්‍රිකට් කණ්ඩායම් සඳහා තරු පහේ හෝටල් පහසුකම් ලබාදීමට නොහැකි බව සංවිධායක මණ්ඩලය නිවේදනය කර සිටියි.

නගෝයා හි උසස් මට්ටමේ තරු පහේ හෝටල් සීමිත වීම මීට ප්‍රධාන හේතුව වී ඇති අතර, ටෝකියෝ හෝ ඔසාකා හි නවාතැන් ලබාදුණහොත් ක්‍රීඩාංගණය වෙත පැමිණීමට අධිවේගී බුලට් දුම්රියෙන් පැය එකහමාරකට ආසන්න කාලයක් ගතවන බැවින් ක්‍රීඩකයන්ගේ පහසුව තකා නගෝයා හිම නවාතැන් සපයාදීමට සංවිධායකයෝ තීරණය කර ඇත.

සාමාන්‍යයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සංචාරවලදී තරු පහේ හෝටල් පහසුකම් ලැබුණද, මෙවර මුහුණදීමට සිදුව ඇති මෙම තත්ත්වය පිළිබඳව මුලදී යම් සංවාදයක් ගොඩනැගුණි. කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න සඳහන් කර ඇත්තේ, ආසියානු ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකා කණ්ඩායමේ පහසුකම් පිළිබඳ ගැටලුව සාර්ථකව විසඳාගත් බවයි.

එමෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති රජීව් ශුක්ලාද පෙන්වාදී ඇත්තේ, ලබාදී ඇති නවාතැන් තරු පහේ ප්‍රමිතියෙන් තොර වුවද ඒවා ඉතා සුවපහසු මට්ටමක පවතින බව ඡායාරූප සහ වීඩියෝ දර්ශන මගින් තහවුරු කරගත් බවයි.

හෝටල් පහසුකම්වලට වඩා ක්‍රීඩාංගණයේ තණතීරු හා ක්‍රීඩා පහසුකම් කෙරෙහි අවධානය යොමුකිරීම වැදගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ වන විටත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිත පිරිසක් ජපානයට ගොස් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය පරීක්ෂා කර ඇති අතර, ශ්‍රී ලංකාවේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණ නිලධාරීන්ගේ තාක්ෂණික සහාය ඇතිව බේස්බෝල් පිටියක් ආශ්‍රිතව නිර්මාණය කරන ලද නව දෙමුහුන් තණතීරුවද ක්‍රිකට් තරග සඳහා ඉතා සුදුසු මට්ටමක පවතින බව තහවුරු කර ඇත.

මෙම මස 24 වැනිදා නගෝයාහිදී ආරම්භ වන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සෘජුවම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින අතර, ඔවුන් සහභාගි වන පළමු තරගය මෙම මස 29 වැනිදා පැවැත්වීමට නියමිතය.