September 10, 2026

මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ‘කොණ්ඩ රංජි’ නමැති පාතාල නායකයා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු ඊයේ (09දා) උදෑසන කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.

කොණ්ඩ රංජි නමැති පාතාල නායකයා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවන බවට එරට පොලිසිය හෝ රජය විසින් කිසිම දැනුම්දීමක් කර නොතිබිණි.

මෙම පාතාල නායකයා ඊයේ පෙරවරු 8.10ට පමණ ෆ්ලයි ඩුබායි ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ ආගමන විගමන නිලධාරීන් විසින් කළ දැනුම්දීමකින් පසු ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුව දැඩි රැකවල් මධ්‍යයේ කොණ්ඩ රංජි නමැති පාතාල නායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ගිය අතර, පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත.

රංජිත් කුමාර නොහොත් කොණ්ඩ රංජි නමැති පාතාල නායකයා පිළිබඳව කතාබහට ලක්වන්නේ කඳාන පොලිසිය ඉදිරිපිට දී ජීප් රථයක යමින් සිටි, හිටපු ඇමැති මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයාට සහ ඔහුගේ මස්සිනාට වෙඩිතැබීම මෙහෙයවනු ලැබුවේ මොහු විසින් නිසාය.

එම ප්‍රහාරයෙන් මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම් බරපතළ තුවාල ලැබූ අතර, ඔහුගේ මස්සිනා ඝාතනයට ලක්වීය.

එම ඝාතනයට අමතරව තවත් මිනීමැරුම් කීපයක්ම කොණ්ඩ රංජිගේ නියෝග මත සිදුවී ඇති බව පොලිසිය පවසයි.

ඩුබායි රාජ්‍යයේ සිය බිරිඳ සහ දරුවන් සමග අතිසුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටි කොණ්ඩ රංජි මීට ටික කාලයකට පෙර ඩුබායි ගුවන්තොටුපළේදී එරට ආරක්ෂක අංශවලට කොටු වී තිබුණේ ඉතාලිය බලා පළායාමට උත්සාහ කිරීමේදීය.

ඩුබායි රාජ්‍යයේ වාසය කිරීමට ගෝල්ඩන් වීසා බලපත්‍ර ලබාගෙන තිබීම නිසා කොණ්ඩ රංජිට එරට නීතියෙන් යම් සහනයක් ලැබී තිබූ බව වාර්තා විය.

ඩුබායි රාජ්‍යයේ විශාල මුදල් ආයෝජනය කරන පුද්ගලයන්ට ලබාදෙන ගෝල්ඩන් වීසා බලපත්‍ර කොණ්ඩ රංජි විසින් ලබාගෙන තිබුණේ වසර ගණනක සිටය.

රුපියල් කෝටි 4 කට අධික වටිනාකමකින් යුත් රන් ආභරණ පැළඳීම කොණ්ඩ රංජිගේ පුරුද්දක් විය. දෑතේ ඇඟිලි දහයටම මුදු පැලඳීම, කිලෝ ගණනක් බර රන් මාල පැලඳීම, දෑතේ මැණික් කටුව අසල සිට වැලමිට දක්වා බ්‍රේස්ලට් පැලඳීම කොණ්ඩ රංජිගේ පුරුද්දක් විය.

මේ ආකාරයට රන් ආභරණවලින් සැරසී සිටීම නිසා කොණ්ඩ රංජි පාතාල කල්ලි අතර ජනප්‍රිය චරිතයක් විය.

තවද මොහු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමගද සමීප සබඳතා පවත්වා ඇත. ඒ හරහා ගෙනා විවිධ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට එවීම් ජාවාරම මොහු කාලයක සිට කරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

දෙවැනි වර කොණ්ඩ රංජි ඩුබායි පොලිසියට කොටුවන්නේ ඇමෙරිකා – ඉරාන යුද්ධයට අදාළ ඡායාරූප වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ චෝදනාව යටතේය.

මාස කිහිපයක් තිස්සේ ඩුබායි අත්අඩංගුවේ පසුවූ කොණ්ඩ රංජි පෙරේදා රාත්‍රියේ එරටින් පිටුවහල් කරන ලදී.

කොණ්ඩ රංජි මුලින්ම මීගමුව බන්ධනාගාරයට යන්නේ කඳාන ප්‍රදේශයේ සිදුකළ සොරකමක් සම්බන්ධයෙන්ය. එහිදී පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමීපව ඇසුරු කළ කොණ්ඩ රංජි මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූවේය.

කඳාන, මීගමුව, වත්තල, ජාඇළ, සීදූව, කටුනායක ප්‍රදේශ පුරා මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයේ ප්‍රධානියා වූ කොණ්ඩ රංජි මේ වනවිට පාතාල කල්ලියකට ද නායකත්වය දෙමින් සිටියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින කොණ්ඩ රංජිගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

එදා ඔහු පැළඳ සිටි රත්තරං පළඳනා මෙදා නොමැතිව රෙද්දකින් පොරවාගෙන ගුවන්තොටුපළින් පිටතට රැගෙන ගිය කොණ්ඩ රංජි නමැත්තා පසුව වැඩිදුර විමර්ශන සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාසය භාරයට පත් කෙරිණි.

(උපුටාගැනීම – දිවයින පුවත්පත)