September 9, 2026

2026 ජූනි 30 වැනි දිනට නියමිත අවසාන දිනය පසුවී, 2026 අගෝස්තු 31 වැනි දින හෝ ඊට පෙර සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශන (වාර්ෂික හෝ විශ්‍රාම පූර්ව) භාරදුන් තැනැත්තන් සඳහා පරිපාලනමය දඩ මුදල් අයකිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 90 වැනි වගන්තිය ප්‍රමාද වූ දින ගණන මත පදනම්ව මෙම දඩ මුදල් අයකරන බව කොමිෂන් සභාව සඳහන් කරයි.

කෙසේවෙතත්, එම දඩ මුදල් පැනවීමට පෙර, අදාළ දඩ මුදල අයනොකිරීමට හේතු දැක්වීම සඳහා බලපෑමට ලක්වූ තැනැත්තන්ට අවස්ථාවක් ලබාදීමට කොමිෂන් සභාව තීරණය කර ඇත.

පනතේ 80(1) වගන්තියට අනුව, ප්‍රකාශන ප්‍රමාද වී භාරදුන් තැනැත්තන් එම ප්‍රමාදයට හේතු, හැකි සෑම විටම ලේඛනමය සාක්ෂි ද සහිතව ලිඛිතව ඉදිරිපත් කළ යුතුය.

මෙම කරුණු දැක්වීම් 2026 සැප්තැම්බර් 30 වැනි දින හෝ ඊට පෙර කොමිෂන් සභාව වෙත භාරදිය යුතු අතර, ඊට අදාළ තැනැත්තාගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය ඇතුළත් කළ යුතුය.

අවසාන දිනයට පෙර හේතු දැක්වීමට අපොහොසත් වීම සාධාරණ හේතුවක් දැක්වීමට අපොහොසත් වීමක් ලෙස සලකනු ලබන අතර, ඒ අනුව පරිපාලනමය දඩ මුදල පනවනු ලැබේ.

එමෙන්ම, යොමුකරනු ලබන ලිපිවල මාතෘකාව ලෙස ‘ප්‍රමාදය සඳහා හේතු’ (Reasons for the delay) යන්න පැහැදිලිව සඳහන් කළ යුතු බව ද කොමිෂන් සභාව පෙන්වා දෙයි. තැපැල් මගින් යොමුකරන්නේ නම් කවරයේ ඉහළ වම්පස කෙළවරේ ද, විද්‍යුත් තැපෑල මගින් යොමුකරන්නේ නම් එහි මාතෘකා තීරුවේ ද මෙය සඳහන් කළ යුතුය.

සන්නිවේදනය සඳහා නිල තොරතුරු:

– ලිපිනය: අධ්‍යක්ෂ (වත්කම් සහ බැරකම් ප්‍රකාශන අංශය), අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, නො. 36, මලලසේකර මාවත, කොළඹ 07
– විද්‍යුත් තැපෑල: ald@ciaboc.gov.lk
– දුරකථන/ෆැක්ස්: 0112587287
– WhatsApp: 0767011954