September 9, 2026

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංගේ පැමිණීමට සමගාමීව, ඉන්දියාවේ නිෂ්පාදිත බහුකාර්ය ප්‍රහාරක නෞකාවක් වන ඉන්දීය නාවික හමුදාවට අයත් INS UDAYGIRI නෞකාව කොළඹ වරාය වෙත ළඟා වී තිබේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන පරිදි, මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ ජංගම පුහුණු කණ්ඩායමක් මගින් තාක්ෂණික පුහුණුව සහ අත්දැකීම් හුවමාරු කර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමයි. ඊට අමතරව, මෙම නෞකාව මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට අවශ්‍ය අත්‍යවශ්‍ය යන්ත්‍ර සූත්‍ර හා අමතර කොටස් ද රැගෙන විත් තිබේ.

මෙම සංචාරය අතරතුර, නෞකාවේ අණදෙන නිලධාරී කප්පිතාන් විකාස් සූද් බටහිර නාවික විධානය භාර ආඥාපති රියද් අද්මිරාල් ජී.එච්.එස්.ඊ. ද සිල්වා නිල වශයෙන් හමුවීමට නියමිතය. ආරක්ෂක අමාත්‍යවරයාගේ සංචාරයට සමගාමීව ශ්‍රී ලාංකික සම්භාවනීය අමුත්තන් උදෙසා විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද INS UDAYGIRI නෞකාව තුළ සංවිධානය කර ඇත.

එමෙන්ම INS UDAYGIRI යුද නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව, දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කර ඇති වැඩසටහන් සඳහා සහභාගී වීමට නියමිතය.

එම නැව් කාර්යමණ්ඩලය දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිතව ඇත.