September 9, 2026

2020 සහ 2026 කාලය තුළ ශ්‍රී ලංකාවේ නීතිඥවරුන් විසින් සැකකටයුතු ගනුදෙනු පිළිබඳ වාර්තා ඉදිරිපත් කර ඇත්තේ දෙකක් පමණක් බව පවසමින්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීතිමය වගකීම් නිසියාකාරව ඉටුකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නීතිඥ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් සංවිධානය කරන ලද සමුළුවකදී අදහස් දක්වමින් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ, මෙම තත්ත්වය ඉතා කනගාටුදායක බවයි.

මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ නීතිඥවරුන් සහ නොතාරිස්වරුන් වගකිවයුතු පාර්ශවයන් ලෙස නම්කර ඇති බැවින්, දේපළ වෙළඳාම්, සේවාදායකයන්ගේ මුදල් පාලනය සහ සමාගම් හෝ භාර අරමුදල් පිහිටුවීමේදී සිදුවන සැකකටයුතු ගනුදෙනු පිළිබඳව වැඩකරන දින දෙකක් ඇතුළත මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීම ඔවුන්ගේ නීතිමය වගකීමක් බව මහබැංකු අධිපතිවරයා පෙන්වාදුන්නේය.

ඔක්තෝබර් 26 සිට නොවැම්බර් 6 දක්වා පැවැත්වීමට නියමිත ආසියා-පශුම්පති මුදල් විශුද්ධිකරණය පිළිබඳ කණ්ඩායමේ ඇගයීමට පෙර මෙරට නීති පද්ධතියේ සක්‍රීය භූමිකාව අත්‍යවශ්‍ය බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අඩුව පිළිගනිමින් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය ප්‍රකාශ කළේ, නීතිවිරෝධී මුදල් නීත්‍යානුකූල කිරීමට යොදාගන්නා ක්‍රමවේද වැළැක්වීමට නීතිඥවරුන් පෙරමුණ ගත යුතු බවයි.

එමෙන්ම, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ කාර්යසාධක බලකායේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ අවධාරණය කළේ නීතිඥ-සේවාදායක රහස්‍යභාවය රැකගැනීමේ අයිතිය අපරාධවලින් උපයන මුදල් සැඟවීමට ආවරණයක් කර නොගත යුතු බවයි.