September 9, 2026

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල ආසන වෙන්කිරීමේ වෙබ් අඩවිය ඔස්සේ පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා ද මාසික දුම්රිය වාර ප්‍රවේශපත්‍ර (සීසන් ටිකට්) ලබාගැනීමේ පහසුකම ලබන ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

මීට පෙර රාජ්‍ය අංශයේ සේවකයන්ට පමණක් සීමා වී තිබූ මෙම පහසුකම ව්‍යාප්ත කිරීමත් සමඟ, දුම්රිය සේවාව භාවිත කරන පෞද්ගලික අංශයේ සේවකයන්ට නිතර නිතර දුම්රිය ස්ථාන වෙත පැමිණීමට සිදු නොවන අතර ඔවුන්ට අන්තර්ජාලය ඔස්සේම වාර ප්‍රවේශපත්‍ර ඉල්ලුම් කර ලබාගැනීමට අවස්ථාව හිමිවේ.

මෙම වැඩිදියුණු කළ නව පහසුකම නිල වශයෙන් එළිදැක්වීම ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් සහ ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්නගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල ‘වෝටර්ස් ඒජ්’ හෝටලයේ නෙළුම් ශාලාවේදී පැවැත්විණි.

දැනට පවතින ක්‍රමවේදය යටතේ මාසික වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමේදී මගීහු රැසක් අපහසුතාවලට මුහුණ දුන්හ. එහිදී අයදුම්පතක්, ඡායාරූපයක්, පදිංචිය සනාථ කිරීමේ ලේඛන සහ ජාතික හැඳුනුම්පතේ පිටපතක් ඉදිරිපත් කරමින් මුලින්ම දුම්රිය හැඳුනුම්පතක් ලබාගැනීමට ඔවුන්ට සිදු විය.

එමෙන්ම දින 10ක කාලසීමාවක් තුළ, පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා වූ නියමිත වේලාවන්හිදී පමණක් එම සේවාව ලබාගැනීමට ද සිදු විය. නමුත් මෙම නව ඩිජිටල් ක්‍රමවේදය යටතේ මගීන්ගේ අනන්‍යතාව සහ පරිශීලක ගිණුම තහවුරු කරගැනීමෙන් පසුව, නිවසේ සිටම වාර ප්‍රවේශපත්‍ර ඉල්ලුම් කර ලබාගැනීමට මගීන්ට හැකියාව ලැබේ.

ආසන වෙන්කිරීමේ පහසුකම් සහිත ඕනෑම දුම්රිය ස්ථානයකින් මගීන්ට තමන්ගේ පරිශීලක ගිණුම් තහවුරු කරගැනීමට පහසුකම් සලසා ඇත.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ SLT-Mobitel ආයතනය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

ආයතන සංග්‍රහයේ XVII වන පරිච්ඡේදයට අනුකූලව රාජ්‍ය සේවකයන් සඳහා සහනදායී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ නිකුත් කිරීම 2026 ජූනි 09 වන දින ආරම්භ කරන ලදී.

දුම්රිය සේවාවන් ඩිජිටල්කරණය කරමින් මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ පහසු සේවාවක් සැලසීමේ ජාතික වැඩසටහනේ තවත් ඉදිරි පියවරක් ලෙස පෞද්ගලික අංශයට ද මෙම පහසුකම ව්‍යාප්ත කළ බව නිලධාරීහු පැවසූහ.

මේ අතර, දුම්රිය ඩිජිටල්කරණ වැඩසටහන යටතේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන් සඳහා ස්මාර්ට් ප්‍රවේශපත්‍ර පද්ධතියක් ද හඳුන්වා දී ඇත. එම පද්ධතිය දැනට නියමු ව්‍යාපෘතියක් ලෙස බේස්ලයින් පාර, කොටා පාර, කිරුළපන සහ නාරාහේන්පිට යන දුම්රිය ස්ථානයන්හි ක්‍රියාත්මක වේ.