September 9, 2026

ඉන්දුනීසියාවේ අනක් ක්‍රකටෝවා ගිනිකන්ද සක්‍රීය වීම ආවරණය කිරීමට යමින් සිටියදී අතුරුදන් වූ බව පැවසෙන මාධ්‍යවේදීන් පස්දෙනෙකු ඇතුළු පුද්ගලයින් හත්දෙනෙකු සෙවීම සඳහා ඉන්දුනීසියානු මුදාගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර ඇතැයි එරට බලධාරීන් පවසයි.

මෙම පිරිස ඉකුත් සඳුදා දහවල් එරට අගනුවර වන ජකාර්තා අසල ප්‍රදේශයක සිට වේගවත් බෝට්ටුවකින් ගමන් කර ඇති අතර, මේ වන තෙක් ඔවුන් ආපසු පැමිණ නැති අතර, බෝට්ටුවේ හිමිකරුට ද කාර්ය මණ්ඩලයෙන් කිසිදු තොරතුරක් ලැබී නැතැයි බලධාරීන් පවසයි.

ඉකුත් සෙනසුරාදා සිට ගුවන් තොටුපළ කිහිපයක් අඩපණ කරමින් සහ ජකාර්තා හා අසල්වැසි නගර ගිනිකඳු අළුවලින් වසා දමමින් පැවති ගිනිකඳු පිපිරීමේ ඡායාරූප සහ වීඩියෝ ලබා ගැනීම සඳහා මෙම ඉන්දුනීසියානු මාධ්‍යවේදීන් පස්දෙනා පිටත්ව ගොස් තිබේ.

මෙම මාධ්‍යවේදීන්, ඉන්දුනීසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන Antara, තුර්කි රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන Anadolu සහ දේශීය ‘iNews’ වෙබ් අඩවිය ඇතුළු දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන නියෝජනය කර ඇත.

ඉකුත් සඳුදා පස්වරු 3 ට පමණ මාධ්‍යවේදියෙකු සිය සගයකු අමතා ඔහු සිටි ස්ථානය පවසා ඇති නමුත්, එතැන් සිට ඔවුන්ගෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බව වාර්තා වේ.

මුදා ගැනීමේ කණ්ඩායම්, පොලිසිය සහ අදාළ බෝට්ටු හිමිකාර සමාගම ද මේ වන විට සෙවුම් මෙහෙයුම් සඳහා එක්ව සිටින බව වැඩිදුරටත් සඳහන් වේ.