September 9, 2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතුන් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ විසින් මුස්ලිම් ජාතිකයන් තිදෙනකු යොදවා අක්කර 135ක තේ වත්තක් අයිති කර ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය තීරණය කර ඇත.

අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය කළ පැමිණිල්ලකට අනුව මේ තීරණය ගෙන තිබේ.

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත එම සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර විසින් අගෝස්තු මස 20 වැනිදා මේ පැමිණිල්ල යොමුකර ඇත.

ඒ අනුව පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට තීරණය කළ බව අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය පැමිණිලිකරුට ලිඛිතව දැනුම් දී තිබේ.

පැමිණිල්ල මඟින් පවසා ඇති සියලු කරුණුවලට අදාළ ලේඛනගත සාක්ෂි සමඟින් පැමිණිලිකරුගේ ප්‍රකාශයක් සටහන් කිරීමට අවශ්‍ය බැවින් මේ 14 වැනිදා පෙරවරු 9ට පොලිස් මූලස්ථානය වෙත පැමිණෙන ලෙස ද පැමිණිලිකරුට දැනුම් දී ඇත.(දිනමිණ)