September 9, 2026

මෑත කාලයේ පොලිස් සේවයේ විවිධ ශ්‍රේණි සඳහා සිදුකරනු ලැබූ උසස්වීම් අභියෝගයට ලක්කරමින් උසස්වීම් නොලද නිලධාරීන් සහ නිලධාරිනියන් 1050 කට ආසන්න පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 40 ක් පමණ නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ තීන්දු කර තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කෙරිණි.

2019, 2020, 2021 සහ 2023 යන වසර වල එම වකවානුවේ හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දරගේ, සී.ඩී. වික්‍රමරත්නගේ, දේශබන්දු තෙන්නකෝන්ගේ පාලන සමයේ සිදුකරන ලද උසස්වීම් මෙම පෙත්සම් වලින් අභියෝගයට ලක්කර තිබිණි.

පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරු දක්වා සිදුකළ උසස් වීම්, පොලිස් සැරයන් තනතුරේ සිට උපපොලිස් පරීක්ෂක තනතුර දක්වා සිදුකළ උසස්වීම්, උපපොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරු දක්වා සිදුකළ උසස්වම් අභියෝගයට ලක්කරමින්, උසස් වීම් නොලද පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 40 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබිණි.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ උසස් වීම් පිරිනැමීමේදී අක්‍රමිකතා සිදුවූ බවට අධිකරණය සෑහීමකට පත්කළ හැකි තොරතුරු පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික මිනිස් අයිතිය උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වී ඇති බවත්, ඒ අනුව මෙම පෙත්සම් නිෂ්ප්‍රභ කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවලින් සඳහන් කර තිබිණි.