September 9, 2026

රටට මේ මොහොතේ අත්‍යවශ්‍ය වන්නේ මෝටර් රථ ආනයනය ද, නැතහොත් රුපියල ශක්තිමත් කර ඒ ඔස්සේ ආනයනය කිරීමේ හැකියාව නිර්මාණය කර ගැනීම ද යන්න සම්බන්ධයෙන් තීරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ පිළිබඳ අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී රුපියල් 293 ක වටිනාකමට තිබූ ඩොලරයේ අගය අද වනවිට 340 දක්වා පැමිණ දෝලනය වෙමින් පවතින බවයි.

එබැවින් මෙම කාලය තුලදී රටට අත්‍යවශ්‍ය වන්නේ මෝටර් රථ ලක්ෂයක් ද, එසේ නොමැති නම් රුපියල ශක්තිමත් වී ඒ ඔස්සේ ආර්ථිකයට පීඩනයක් එල්ල නොවීම ද යන්න තීරණය කළ යුතුව ඇතැයි ද ඔහු පැවසුවේය.

එමෙන්ම මන්ත්‍රීවරයා අනාවරණ කළේ 2025 වසරේදී මෝටර් රථ 70,000 ක් ආනයනය කර තිබුණ ද, මෙම වසරේ මාස 06 ක් තුළදී මෝටර් රථ 54,000 ක් ආනයනය කර ඇති බවයි.

විදේශ විනිමය අර්බුදයක් ඇතිවුවහොත් ඒ ඔස්සේ ආනයන සඳහා දැඩි බලපෑම් එල්ල වන බවත්, එහිදී ප්‍රමුඛතම අවධානය වන්නේ ඛණිජ තෙල් ආනයනය සඳහා බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.