September 2, 2026

ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන පුනර්ජනනීය බලශක්ති වෙළඳපොළක් වන ඉන්දියාව තුළ සිය ආධිපත්‍යය තහවුරු කරගැනීම සඳහා සවුදි අරාබියේ ‘අල්ෆනාර් සමූහය’ දැවැන්ත පියවරක් තබා ඇත.

ඒ අනුව ඉන්දියාවේ පිහිටි සිය අනුබද්ධ ‘සෙන්වියොන්’ සුළං ටර්බයින් නිෂ්පාදන සමාගමේ ඩොලර් මිලියන 100 ක මුදලක් ආයෝජනය කිරීමට අල්ෆනාර් සමාගම කටයුතු කර තිබේ.

මෙම ආයෝජනයේ පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 34 ක් මේ මස මුලදී නිදහස් කර ඇති අතර, ඉදිරි සති කිහිපය තුළ ඉතිරි කොටස හිමිවීමට නියමිත බව ‘අරාබියන් ගල්ෆ් බිස්නස් ඉන්සයිට්’ වාර්තා කරයි.

ඉන්දියාවේ සුළං බලශක්ති ධාරිතාව 2014 පැවැති ගිගාවොට් 21 සිට මේ වන විට ගිගාවොට් 58 දක්වා ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති අතර, සවුදියේ ‘විෂන් 2030’ වැඩසටහන යටතේ ඉදිරිපත් කර ඇති බලශක්ති ඉලක්ක සපුරා ගැනීමටද මෙමගින් විශාල පිටුවහලක් ලැබෙනු ඇත. නව තාක්ෂණය සහ ගෝලීය වෙළඳපොළ ජයගැනීමේ උපායමාර්ග සමගින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, දකුණු ආසියාතික කලාපයේ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රබල පරිවර්තනයකට මගපාදනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ විශ්වාස කරති.