September 7, 2026

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට නිවසින් පිසූ ආහාර ලබාගැනීම සඳහා අවසර ලබාදී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් කළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබාදුන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න මහතා සඳහන් කළේය.

ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබාගැනීමේ සැකය මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ අනුව, ඔහු රැඳවුම් භාරයේ පසුවන කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ අදාළ වාට්ටුව ඇතුළත සහ පිටත විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම, දිනකට පුද්ගලයන් තිදෙනකු දක්වා ඔහුව මුණගැසීමට පැමිණීම සඳහා අවසර ලබාදී ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, නාමල් රාජපක්ෂගේ සුවදුක් විමසා බැලීම සඳහා ඔහුගේ මව වන ශිරන්ති රාජපක්ෂ අද (07) උදෑසන වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණි බව වාර්තා විය.

නාමල් රාජපක්ෂ හමුවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ද අද උදෑසන වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියේය.