September 7, 2026

ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් අතිශය දුෂ්කර ප්‍රදේශයක පිහිටි කඩංගමුව ප්‍රාථමික විද්‍යාලය මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් 100%ක විශිෂ්ට සමත්ත්වයක් ලබා ගනිමින් සුවිශේෂී වාර්තාවක් තබා ඇත.

මෙවර එම විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිට ඇත්තේ සිසුන් දෙදෙනෙකු පමණක් වන අතර, එම සිසුන් දෙදෙනාම කඩඉම් ලකුණුවලට වඩා වැඩි ලකුණු ලබා ගනිමින් විභාගය ඉහළින්ම සමත් වී තිබේ.

ලකුණු 158ක් ලබාගත් සිතුමි සුපුනි දෙහංසා කුමාරසිංහ සහ ලකුණු 157ක් ලබාගත් මිතුලි අහස්මා වනසිංහ යන දියණියන් දෙදෙනා මෙලෙස ශිෂ්‍යත්වය සමත් වී ඇත.

මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් බිහිවී, සිය පළමු ගුරු පත්වීම ලෙස මෙම විද්‍යාලයට පැමිණි රුක්ෂාන් සුගන්දන ගුරුවරයා විසින් 4 සහ 5 ශ්‍රේණිවලදී මෙම දරුවන් දෙදෙනා ජයග්‍රහණය කරා මෙහෙයවා තිබේ.

තමන් ද ග්‍රාමීය දුෂ්කර පාසලකින් අධ්‍යාපනය ලැබූ අයෙකු ලෙස මෙම දරුවන්ගේ ජයග්‍රහණයට දායක වීමට ලැබීම පිළිබඳව තමන් අතිශය සතුටු වන බවත්, තමන්ට ශිල්ප දුන් මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට කෘතඥතාව පිරිනමන බවත් ඔහු පැවසීය.

සිය සාර්ථකත්වය වෙනුවෙන් කැපවූ දෙමාපියන්ට, පන්තිභාර ගුරුතුමාට සහ විදුහල්පතිතුමා ඇතුළු පාසලේ ගුරු මණ්ඩලයට අදාළ ශිෂ්‍යාවන් දෙදෙනා සිය හදපිරි ප්‍රණාමය පළ කර සිටියහ.

අබලන් වූ මාර්ග හේතුවෙන් නිසි ප්‍රවාහන පහසුකම් පවා නොමැති, ගමනාගමනය සඳහා පාගමනින් යෑමට සිදුවන අතිශය දුෂ්කර ගම්මානයක පිහිටි මෙම පාසල ශිෂ්‍යත්ව විභාගයකදී 100%ක සමත්ත්වයක් ලැබූ පළමු අවස්ථාව මෙය බව විදුහල්පති ගයාන් සුබසිංහ සඳහන් කළේය.

“අපේ පාසලේ දැනට ඉන්නේ මුළු ළමයි 20 දෙනයි, ගුරුවරු 6 දෙනයි. බොහෝ ගුරුවරුන් පාසල හැර යන වටපිටාවක, දැනට ඉතිරිව සිටින ගුරුවරුන් කැපවීමෙන් කටයුතු කරමින් මේ දුෂ්කර පාසල රැකගැනීමට විශාල මෙහෙවරක් කරනවා,” යැයි විදුහල්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ශිෂ්‍යත්වය සමත් වූ දියණියන් දෙදෙනා බලධාරීන්ගෙන් සහ සමාජයෙන් ඉල්ලා සිටියේ, සිය පාසලේ ඉතිරිව සිටින පුංචි නංගිලා මල්ලිලාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පාසලට අත්‍යවශ්‍යව පවතින ‘ස්මාර්ට් බෝඩයක්’ (Smart board) ලබාදෙන ලෙසයි.