September 7, 2026

තමන්ට නිසි අනුග්‍රහයක් නොලැබෙන බවට ක්‍රීඩකයකු කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, අදාළ ක්‍රීඩකයා දැනටමත් ජාතික සංචිතයට ඇතුළත් කර ඇති බවත් ඔහුට අවශ්‍ය සියලු උපකරණ ලබා දී ඇති බවත් පවසයි.

සපත්තු සහ හෙල්ලයක් නොමැති බවට අදාළ ක්‍රීඩකයා රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකවම කරුණු විමසා බැලූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

“ඔහු අපේ ජාතික සංචිතයේ ඉන්න ළමයෙක්. අපි ඔහුට අවශ්‍ය සියලුම උපකරණ ලබා දී තියෙනවා,” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

ඇතැම් ක්‍රීඩකයන් තමන්ට කිසිදු සහයක් නොලැබෙන බවත්, ක්‍රීඩා උපකරණ පවා මිලදී ගැනීමට නොහැකි බවත් පවසමින් සිදුකරන ප්‍රකාශ මගින් දක්ෂ ක්‍රීඩකයන් ගණනකට නොගන්නා බවට වැරදි මතයක් සමාජය තුළ නිර්මාණය වන බව ඔහු පෙන්වා දෙයි.

“සැබවින්ම දක්ෂතා ඇති, විශේෂයෙන්ම ජාතික මට්ටමින් තරග කරන දරුවකු සිටී නම් අපි අනිවාර්යයෙන්ම උදව් කරනවා, සපත්තු ගන්න ෆේස්බුක් දාලා සල්ලි එකතු කරන්න ඕනේ නැහැ,” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයෙන් දැනටමත් සහනාධාර සහ පහසුකම් ලබන ක්‍රීඩකයකු මෙවැනි ප්‍රකාශ කරන්නේ නම්, “ඔවුන් කියන්නේ සම්පූර්ණ බොරුවක්” බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමේ ඉලක්කය ඇතිව ආරම්භ කරන ලද ‘Mission Olympic 2028’ වැඩසටහන යටතේ රජය විසින් ක්‍රීඩකයන්ට මුල්‍යමය ආධාර සපයන බව ගමගේ හෙළි කළේය.

2025 අප්‍රේල් මාසයේදී ආරම්භ කරන ලද මෙම වැඩසටහන යටතේ විශේෂ ජාතික සංචිතයක් ද ස්ථාපිත කර ඇත.

අමාත්‍යවරයාට අනුව, එක් කාණ්ඩයක ක්‍රීඩකයෙකුට මසකට රුපියල් 210,000ක දීමනාවක් හිමිවන අතර, ඔවුන්ගේ පුහුණුකරුවන්ට රුපියල් 110,000ක් හිමිවේ.

අවසාන කාණ්ඩයේ ක්‍රීඩකයන්ට මසකට රුපියල් 110,000ක මුදලක් ලබාදෙනු ලබයි.

ඊට අමතරව පෝෂණ දීමනා ලෙස ක්‍රීඩකයන් 370 දෙනෙකුට රුපියල් 60,000 බැගින් ද, පාසල් ක්‍රීඩකයන් 1,500 දෙනෙකුට මසකට රුපියල් 10,000 බැගින් ද ලබාදීමට කටයුතු කර ඇත.

“ඊළඟ ඔලිම්පික් උළෙලේදී අපට ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට හැකි වන බව අපි විශ්වාස කරනවා,” යනුවෙන් සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා අවසාන වශයෙන් පැවසීය.