September 7, 2026

මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම, ජාවාරම් කිරීම සහ නීති විරෝධී ගිනිඅවි ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ ඊජිප්තුවේ ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක වන සාරා කලීෆා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට එරට මිසර අධිකරණයක් තීන්දු කර ඇත.

විදේශයන්ගෙන් අමුද්‍රව්‍ය ගෙනැවිත් කෘත්‍රිම මත්ද්‍රව්‍ය (Synthetic drugs) නිෂ්පාදනය කර අලෙවි කිරීමේ නිරත වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් ලෙස මොවුන් වරදකරුවන් වී තිබේ.

39 හැවිරිදි සාරා කලීෆා ඊජිප්තුවේ අපරාධ සහ ආරක්ෂක ක්ෂේත්‍රය ආවරණය කළ අතිශය ජනප්‍රිය ‘Mission Impossible’ රූපවාහිනී වැඩසටහනේ මෙහෙයවන්නිය වූ අතර, ඇය තමන්ට එල්ල වූ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළාය.

විමර්ශන අතරතුරදී කිලෝග්‍රෑම් 750කට වැඩි මත්ද්‍රව්‍ය සහ අමුද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගත් බවත්, නගරයේ පිහිටි මහල් නිවාස දෙකක් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රහසිගත රසායනාගාර ලෙස භාවිත කර තිබූ බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව සඳහා සාක්ෂිකරුවන් 20 දෙනෙකුගේ ප්‍රකාශ මෙන්ම වීඩියෝ දර්ශන සහ දුරකථන සංවාද ඇතුළත් විද්‍යුත් සාක්ෂි පදනම් කරගෙන තිබිණි.

මරණ දඬුවම නියම කිරීමට ප්‍රථමයෙන් ඊජිප්තු නීතියට අනුව රටේ ප්‍රධාන ආගමික නායකයා වන ‘මහ මුෆ්ටි’ වරයාගේ එකඟතාව සහ මතය ලබාගත යුතු අතර, එම අනුමැතිය හිමිවීමෙන් පසුව මෙම මරණ දඬුවම තහවුරු කරනු ලැබීය.

පූර්ව නඩු විභාගයකදී සාරා කලීෆා අධිකරණය හමුවේ පවසා සිටියේ තමන් කිසිදා මත්ද්‍රව්‍ය භාවිත කර හෝ දැක නොමැති බවත්, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේදී ඡායාරූප ගන්නා තෙක් තමන් එම මත්ද්‍රව්‍ය නොදැක තිබූ බවත්ය.

මෙම මරණ දණ්ඩන තීන්දුවට එරෙහිව ඊජිප්තුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට විත්ති පාර්ශ්වයට තවදුරටත් නීතිමය අවස්ථාව පවතී.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වාර්තාවලට අනුව, 2025 වසර තුළ පමණක් ඊජිප්තු අධිකරණ මගින් මරණ දඬුවම් 492ක් ලබාදී ඇති අතර 23 දෙනෙකු මරණීය දණ්ඩනයට ලක්කර ඇත.