September 6, 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායකත්වයට පත්ව මාස හතරක් වැනි කෙටි කාලයකින් ඉන් ඉවත්කිරීමට තේරීම් කමිටුව පියවර ගත්තද, රට වෙනුවෙන් දක්වන කැපවීමේ කිසිදු වෙනසක් සිදුනොවන බව මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් Sunday Times වෙත පවසා ඇත.

ආබාධයකට ලක්වීම නිසා නිත්‍ය නායක කුසල් මෙන්ඩිස් එංගලන්ත තරගාවලියට සහභාගී නොවන අතර, ඒ වෙනුවට කණ්ඩායමේ උපනායකත්වය මෙන්ම විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය ද හිටපු නායක චරිත් අසලංක වෙත පවරා තිබේ.

එංගලන්තය බලා පිටත්ව යාමට පෙර ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් කමිඳු මෙන්ඩිස් සඳහන් කළේ, උපනායකත්වයෙන් තමන් ඉවත් කිරීමට ගත් තීරණය පිළිබඳව තේරීම් කමිටුවෙන් විමසිය යුතු බවයි.

“මගේ වගකීම වන්නේ කණ්ඩායමට උපරිම දායකත්වය ලබාදීමයි. ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස මට ලැබෙන ඕනෑම වගකීමක් ඉටු කරමින් රට වෙනුවෙන් උපරිමය කිරීමට මම ලෑස්තියි. උපනායකත්වයෙන් ඉවත්කිරීම ගැන මම පසුතැවෙන්නේ නැහැ. රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම මගේ වගකීමක්, මෙවැනි දෙයකින් එය කිසිදා වෙනස් වෙන්නේ නැහැ” යැයි ඔහු පැවසීය.

සැප්තැම්බර් 15 වැනිදා ආරම්භ වන සීමිත ඕවර තරගාවලියට පෙර එංගලන්තයේ කාලගුණයට සහ තත්ත්වයන්ට හුරුවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කළින්ම එංගලන්තය බලා පිටත්ව ගිය අතර, මීට පෙර එංගලන්තයේ සංචාරය කළ ක්‍රීඩකයන්ගේ අත්දැකීම් මෙවර තරගාවලියට බෙහෙවින් උපකාරී වන බව කමිඳු විශ්වාසය පළකරයි.

ලබන වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින තරගාවලිය සඳහා සූදානම් වීමට ඉදිරියේදී පැවැත්වෙන විදේශ සංචාර බෙහෙවින් වැදගත් වන බවත්, පසුගිය වසර දෙක තුළ සීමිත ඕවර තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ප්‍රගතියක් ලබා ඇති බවත් ඔහු සඳහන් කළේය.

ආබාධ නිසා ප්‍රධාන ක්‍රීඩකයන් කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවීම අභියෝගයක් වුවද, එමගින් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේදී දක්ෂතා දැක්වූ නැගීඑන යොවුන් ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමට එක්වීමට හොඳ අවස්ථාවක් හිමිව ඇති බව කමිඳු වැඩිදුරටත් පැවසීය.

මෙම එංගලන්ත සංචාරයට විස්සයි-20 තරග 3 ක් සහ එක්දින තරග 3 ක් ඇතුළත් වේ.