September 6, 2026

මහරගම අපේක්ෂා පිළිකා රෝහලට PET ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා පරිත්‍යාගයක් ලෙස ලබාගත් රුපියල් මිලියනයක මුදලක් ‘සිරීලිය සවිය’ පදනම මගින් පවත්වාගෙන ගිය බැංකු ගිණුමකට තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

මෙම මුදල් පරිත්‍යාගය ඉල්ලා ඇත්තේ ‘සුව උදාන’ නමැති ව්‍යාපෘතියක් මගින් වුවද, අදාළ මුදල් තැන්පත් කර ඇත්තේ සිරිලිය සවිය ගිණුමකට බව අනාවරණය වීමෙන් පසුව නීතිපතිවරයා CIDයට මෙම උපදෙස ලබා දී තිබේ.

අදාළ PET ස්කෑනර් යන්ත්‍රය චීනයෙන් රෝහල වෙත පරිත්‍යාගයක් ලෙස ලබාදීමට සූදානම් කර තිබියදීත්, යන්ත්‍රය මිලදී ගැනීමට යැයි පවසමින් මෙලෙස පරිත්‍යාග එකතු කිරීම සම්බන්ධයෙන් දැඩි සැකයක් මතුව ඇත. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රුපියල් මිලියන 50 ක් පමණ වටිනා මෙම PET ස්කෑනරය ශ්‍රී ලංකාවට හිමිවන බවට තහවුරු වී තිබියදීත්, සුව උදාන ව්‍යාපෘතියේ ඉල්ලීමකට අනුව මෙම මුදල් සිරීලිය සවිය ගිණුමට තැන්පත් කර ඇති බවයි. ඒ අනුව මෙය අපරාධමය විශ්වාසය කඩකිරීමක් වියහැකි බවට සැකකෙරේ.

මීට අමතරව, අදාළ PET ස්කෑනරය මිලදී ගැනීමේ මුවාවෙන් පෞද්ගලික බැංකු කිහිපයකින්ද මුදල් පරිත්‍යාග ඉල්ලා ලබාගෙන ඇති බව විමර්ශකයන් විසින් සොයාගෙන ඇත. උපකරණය පරිත්‍යාගයක් ලෙස ලැබෙන බව තහවුරු වී තිබියදීත්, එය මිලදී ගන්නා බව පවසමින් පරිත්‍යාග එකතු කිරීම හරහා මූල්‍ය වංචාවක් සිදුව තිබේද යන්න පිළිබඳව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් විමර්ශනය කරයි.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් CIDයට වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ ප්‍රදීප් කාරියවසම්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන සතියක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාවක් නීතිපතිවරයා වෙත යොමුකරන ලෙසයි.

(The Sunday Times)