September 6, 2026

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කර තිබූ වැඩසටහනේදී අදහස් දක්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය සහ ජනතාවගේ පරමාධිපත්‍යය වර්තමානයේ දැඩි තර්ජනයකට ලක්ව ඇති බවයි.

1946 සැප්තැම්බර් 6 වැනිදා ඩී. ඇස්. සේනානායක ඇතුළු දේශපාලන නායකයන් පිරිසක් විසින් එක්සත් ජාතික පක්ෂය පිහිටුවූ බව සිහිපත් කළ රනිල් වික්‍රමසිංහ, 21 වැනි සියවසට ගැලපෙන නව ප්‍රතිපත්ති සහ නව මුහුණුවරකින් යුතු “නූතන එක්සත් ජාතික පක්ෂයක්” ගොඩනැගීමේ ක්‍රියාවලිය මෙම සංවත්සරයත් සමඟ ආරම්භ කරන බව පැවසීය.

මීට අමතරව, සැප්තැම්බර් 17 වනදාට යෙදෙන හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ 120 වැනි ජන්ම සංවත්සරය සමරන බවත්, පක්ෂයේ මහා සම්මේලනය ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය. මෙවර සංවත්සරයේ තේමාව ලෙස ‘පරමාධිපත්‍යය’ යන්න නම් කර තිබේ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය ජනතාව සතු වන අතර, පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා සහ අධිකරණය ක්‍රියාත්මක වන්නේ ජනතාව වෙනුවෙන් බව රනි වික්‍රමසිංහ පෙන්වාදුන්නේය. රජය විසින් ගෙන ඒමට යෝජිත 22 වන සංශෝධනය ජනමත විචාරණයකට යොමුකරන බව ප්‍රකාශ නොකිරීම නිසා ඊට එරෙහිව අධිකරණය හමුවට ගොස් ජනමතවිචාරණයක් ඉල්ලා සිටීමට පියවර ගත් බවද ඔහු පැවසීය.

දේශපාලන පක්ෂ සහ විපක්ෂය මර්දනය කරමින්, සුදුසු පදනමකින් තොරව දේශපාලනඥයන් අත්අඩංගුවට ගන්නා බවට චෝදනා කළ හිටපු ජනාධිපතිවරයා, මෙම ක්‍රියාවන්හි ඉලක්කය වී ඇත්තේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය, විපක්ෂය මෙන්ම ස්වාධීන වෘත්තීය සමිති විනාශ කිරීම බව කියා සිටියේය. නීතිඥ සංගමය, වෛද්‍යවරුන් සහ මහාසංඝරත්නය වෙත එල්ල වන බලපෑම් මගින් ව්‍යවස්ථාව සහ ජනතා පරමාධිපත්‍යය කෙලෙසන බවද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී විපක්ෂයට අදහස් දැක්වීමට ප්‍රමාණවත් ඉඩකඩක් නොලැබෙන බවට චෝදනා කළ රනිල් වික්‍රමසිංහ, “මේ සියල්ල දෙස බලන විට නැගෙන ප්‍රශ්නය වන්නේ, මේ රට පාලනය කරන්නේ පාර්ලිමේන්තුවෙන්ද? නැත්නම් පැලවත්තෙන්ද?” යනුවෙන් සඳහන් කළේය.

1946 දී සියලු දෙනා එකතු වී නිදහස් ශ්‍රී ලංකාවක් ගොඩනැගුවා සේම, අද දිනයේත් ජනතාවගේ පරමාධිපත්‍යය සුරැකීම සඳහා සියලු දේශපාලන කණ්ඩායම් එකතු විය යුතු බවට ඔහු ඇරයුම් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘවරයෙකු වූ ඩී. ඒ. රාජපක්ෂගේ මුනුපුරා වන නාමල් රාජපක්ෂද පක්ෂ සංවත්සරය සඳහා ආරාධනා කර තිබූ බව පැවසූ රනිල් වික්‍රමසිංහ, ඔහු අත්අඩංගුවට ගැනීම කණගාටුදායක බවත්, එම ක්‍රියාව තමන් සහ පක්ෂය දැඩි ලෙස හෙළාදකින බවත් වැඩිදුරටත් පැවසීය.