September 6, 2026

57 වැනි වියෙහි පසුවූ එරාජ් ප්‍රනාන්දු කොළඹ පිහිටි මහල් නිවාසයක් තුළ මියගොස් සිටියදී පසුගිය බදාදා (සැප්තැම්බර් 2) සොයාගැනුණු අතර, මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු සියදිවි නසාගෙන ඇති බවයි.

සැප්තැම්බර් 3 වැනිදා කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා විසින් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව විවෘත තීන්දුවක් ලබා දී ඇත.

වැඩිදුර විමර්ශන සඳහා එරාජ් ප්‍රනාන්දුගේ සිරුරු කොටස් රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරියා නියෝග කළේය.

පොලිසිය සඳහන් කළේ, අදාළ මහල් නිවාසයේ එරාජ් ප්‍රනාන්දු සමඟ තවත් පුද්ගලයකු රැඳී සිට ඇති අතර, ඔහු ඊට පෙර දින හම්බන්තොට ප්‍රදේශය බලා පිටත්ව ගොස් ඇති බවයි.

සැප්තැම්බර් 2 වැනිදා උදෑසන අදාළ පුද්ගලයා දුරකථනය ඔස්සේ එරාජ් ප්‍රනාන්දු, ඇමතීමට උත්සාහ කළද ඊට ප්‍රතිචාරයක් ලැබී නොමැත.

පසුව ඔහු එම නිවාසයේ පිරිසිදු කිරීම් කටයුතු සිදුකරන කාන්තාවකට කතාකර නිවස පරීක්ෂා කරන ලෙස දැනුම් දී ඇති අතර, එහිදී එරාජ් ප්‍රනාන්දුගේ සිරුර සොයාගෙන තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ එරාජ් ප්‍රනාන්දු, 2014 වසරේදී හම්බන්තොට නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අතර, 2018 වසරේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඇතිව නැවතත් නගරාධිපතිවරයා ලෙස තේරී පත්විය.