September 6, 2026

තෙල්දෙණිය, වික්ටෝරියා ප්‍රදේශයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබූ සාදයක් සැප්තැම්බර් 5 වැනිදා වටළා පුද්ගලයන් 41 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ලැබුණු තොරතුරකට අනුව තෙල්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටළීම සිදුකර ඇත.

මෙම මෙහෙයුමේදී පිරිමි පුද්ගලයන් 36 දෙනකු සහ කාන්තාවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

වැටළීමේදී ගංජා මිලිග්‍රෑම් 947 ක්, හෂීස් ග්‍රෑම් 3.657 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1.276 ක්, මත්පෙති 18 ක් සහ නීතිවිරෝධී සිගරට් 21 ක් පොලිස් භාරයට ගෙන ඇත.

මීට අමතරව, මිලිලීටර් 500 ප්‍රමාණයේ බියර් කෑන් 35ක් සහ මිලිලීටර් 750 ප්‍රමාණයේ අරක්කු බෝතල් 13ක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අවුරුදු 21 ත් 40 ත් අතර වයස්වල පසුවන පිරිමි සැකකරුවන් ගෙලිඔය, අලුත්වත්ත, වරකාපොළ, පේරාදෙණිය, අම්පිටිය, මහනුවර සහ හඟුරන්කෙත යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

අවුරුදු 22 ත් 43 ත් අතර වයස්වල පසුවන කාන්තාවන් පස්දෙනා පල්ලේකැලේ, පේරාදෙණිය, හඟුරන්කෙත, දෙහිවල සහ කටුගස්තොට යන ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.

තෙල්දෙණිය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.