September 6, 2026

මොන්සා හි පැවැති ස්ප්‍රින්ට් තරගයේදී 17 වැනි ස්ථානයේ සිට 4 වැනි ස්ථානය දක්වා පැමිණීමට දැක්වූ සුපිරි රියදුරු දක්ෂතාවය පිළිබඳව AIX Racing කණ්ඩායමේ ශ්‍රී ලාංකික රේසිං ක්‍රීඩක යෙවාන් ඩේවිඩ් සිය සතුට පළකර ඇති අතර, ඉරිදා පැවැත්වෙන ප්‍රධාන තරගයේදී මීටත් වඩා හොඳ දක්ෂතාවයක් දැක්වීමට බලාපොරොත්තු වන බව පවසයි.

තරගය පුරාම ක්‍රමයෙන් ඉදිරියට පැමිණි ඔහු, අවසන් වටයේ අවසන් වළල්ලේදී Alessandro Giusti අභිබවා යමින් 4 වැනි ස්ථානය තහවුරු කරගැනීමට සමත් විය.

තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ, සුදුසුකම් ලැබීමේ තරගයේදී තමන්ට නියමිත වේගය පෙන්වීමට නොහැකි වුවද, මෙම තරගයේදී මෙවැනි දක්ෂතාවයක් දැක්වීමට හැකිවන බවට විශ්වාසයක් තිබූ බවයි.

“ඇත්තටම එය විශිෂ්ට අත්දැකීමක්. අපට හොඳ වේගයක් සහ හැකියාවක් තිබූ බව මම දැනසිටියා. පළමු වටයේදී මම තරමක් පරිස්සම් වුණා. පසුව ස්ථාන කිහිපයක් ඉදිරියට යාමට හැකි වූ අතර, එතැන් සිට සාර්ථකව තරගයේ රැඳී සිටියා. අවසන් වටයේදී සිදු කළ පසුපසින් පැමිණ අභිබවා යාම හරහා 4 වන ස්ථානය ලබා ගැනීමට හැකි වීම ඉතා සතුටක්. තව වට කිහිපයක් තිබුණා නම් ජයග්‍රාහී පීඨිකාවට පැමිණීමට පවා ඉඩ තිබුණා. හෙට තරගයේ ඉලක්කය වන්නේද එයයි,” යැයි යෙවාන් ඩේවිඩ් පැවසීය.

මොන්සා ධාවන පථයට ඇති කැමැත්ත පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, මොන්සා තමන්ට නිවෙසක් බඳු බවත්, තමන් කලක් එහි ජීවත් වී ඇති අතර පවුලේ අයද සිටින නිසා මෙම ජයග්‍රහණය වඩාත් විශේෂ වන බවයි.

තරගයේදී අනුගමනය කළ උපක්‍රම පිළිබඳව පැහැදිලි කරමින් ඔහු සඳහන් කළේ, දීර්ඝ තරගයක් බැවින් මනස නිරවුල්ව තබා ගනිමින් ධාවන පථයේ වංගු වලින් පිටවන අවස්ථාවලදී (exits) වේගය නිසි ලෙස පාලනය කරගැනීමට අවධානය යොමුකළ බවයි.

“තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම මෙවැනි උණුසුම් තරගකාරීත්වයක් සහ සටනක් පැවැතීම මම ඉතා අගය කරනවා. රේසිං ක්‍රීඩාවේ මම වඩාත්ම ප්‍රිය කරන කොටස එයයි” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉරිදා පැවැත්වෙන ප්‍රධාන තරගය පිළිබඳව අදහස් දක්වමින් යෙවාන් ඩේවිඩ් සඳහන් කළේ, තමන් යම් නිශ්චිත ස්ථානයක් ඉලක්ක කරගෙන ධාවනයේ යෙදෙන ක්‍රීඩකයකු නොවන නමුත්, ස්ප්‍රින්ට් තරගයටත් වඩා හොඳ තරගයක් ලබාදීම තමන්ගේ මීළඟ ඉලක්කය වන බවයි.