September 5, 2026

ශ්‍රී ලංකා මුහුදු තීරයට ආසන්නයේ රැඳී සිටින ඉරාන නෞකා සම්බන්ධයෙන් ඉරාන රජයෙන් මෙතෙක් කිසිදු නිල ඉල්ලීමක් හෝ පණිවුඩයක් ලැබී නොමැති බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර පවසා ඇතැයි ‘ඩේලි මිරර්’ පුවත්පත වාර්තා කරයි.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකානු බලධාරීන් සමඟද කිසිදු ගැටලුවක් පැනනැගී නොමැති බව ද ඔහු සඳහන් කළේය.

ඇමෙරිකානු සම්බාධක හේතුවෙන් ඉරාන ධජය රැගත් නෞකා කිහිපයක් ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආසන්න වෙරළ තීරයේ නංගුරම් ලා ඇති බව මීට පෙර වාර්තා වී තිබිණි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එකී නෞකාවලට කිසියම් පහසුකමක් සැලසීම හෝ වෙනත් මැදිහත්වීමක් සඳහා කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවයි.

ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටත ඇති මෙම ඉරාන නෞකා සම්බන්ධයෙන් ඉරානය කිසියම් ඉල්ලීමක් කළහොත් ශ්‍රී ලංකා රජය ඊට ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි විමසූ විට, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ පිළිබඳව තීරණයක් ගනු ලබන්නේ එවැනි ඉල්ලීමක් ලැබුණහොත් පමණක් බවයි.

මෙම කරුණ සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ආරක්ෂක අමාත්‍යාංශය අමතා තිබේදැයි විමසූ විට, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ ඒ පිළිබඳව කිසිදු සන්නිවේදනයක් සිදුව නොමැති බවත්, ඇමෙරිකා එක්සත් ජනපදය මේ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් මතුකර නොමැති බවත්ය.