September 5, 2026

දිවුල්වැව – වැලිගොල්ලෑව මාර්ගයේ රඹාවැල වැව් බැම්ම මත ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් පෙරළී වැවට වැටීමෙන් සිදු වූ අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වැව් බැම්ම මත ගැට ගසා සිටි ගවයෙකුගේ නොවැදී බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ට්‍රැක්ටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව රථය පාරෙන් ඉවතට පැන මෙලෙස වැවට පෙරළී ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ ට්‍රැක්ටර් රථයේ රියදුරු ඇතුළු තිදෙනෙකු කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

එලෙස රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී එක් තරුණයෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය හඳුනාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දිවුල්වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.