September 5, 2026

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ගෙන යන යුදමය වාතාවරණය හමුවේ ඇමෙරිකානු ජනතාවගේ දෛනික ජීවන බර තවදුරටත් ඉහළ යමින්, එරට ඩීසල් මිල ඉතිහාසයේ ඉහළම අගයට පැමිණ තිබේ.

ඇමෙරිකාව තුළ ඩීසල් ප්‍රධාන වශයෙන් භාවිත කරනුයේ ලොරි, දුම්රිය, නාවික යාත්‍රා, බස් රථ මෙන්ම කෘෂිකාර්මික හා ගොඩනැගිලි නිෂ්පාදන ක්ෂේත්‍රයේ බරපතල යන්ත්‍රසූත්‍ර වැනි වාණිජමය වාහන සඳහා ය.

ඇමෙරිකානු රථවාහන සංගමයට අනුව, මීට වසරකට පෙර ඩීසල් ගැලුමක සාමාන්‍ය මිල ඩොලර් 3.71ක් ලෙස පැවති අතර, එය මේ වන විට ඩොලර් 5.85ක වාර්තාගත අගයක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය මීට පෙර රුසියානු-යුක්‍රේන යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ පැවති උපරිම මිල පවා අභිබවා යාමකි.

පසුගිය පෙබරවාරි අගභාගයේදී ඉරාන ගැටුම ආරම්භ වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම මෙලෙස දේශීය ඉන්ධන මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී තිබේ.

මේ අතර, ඉහළ යන ඉන්ධන පිරිවැයට පිළියමක් ලෙස වෙනිසියුලාව සමඟ ඇති කරගත් විශේෂ තෙල් ගිවිසුමක් හරහා ඇමෙරිකානුවන්ට ඉන්ධන මිල සැලකිය යුතු ලෙස සහනදායී මට්ටමකට ගෙන එන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

පසුගිය ජනවාරි මාසයේදී ජනාධිපති ට්‍රම්ප්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ ඇමෙරිකානු විශේෂ බලකා ප්‍රහාරයකින් වෙනිසියුලාවේ හිටපු නායක නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගනු ලැබීය. වෙනිසියුලානු අතුරු ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගුඑස් ප්‍රකාශ කළේ, පසුගිය සෙනසුරාදා ප්‍රකාශයට පත් කරන ලද අලුත්ම ගිවිසුම යටතේ බොරතෙල් බෝතල් බිලියන 65ක ධාරිතාවයක් සහිත ප්‍රධාන තෙල් නිධි 17ක් සංවර්ධනය කිරීමට නියමිත බවයි. ඒ සඳහා ඩොලර් බිලියන 100කට වැඩි ආයෝජනයක් සහ වෙනිසියුලාවට ඩොලර් බිලියන 209කට වැඩි බදු ආදායමක් හිමිවනු ඇත.

මෙම ඒකාබද්ධ ව්‍යාපෘතියේ 55%ක පාලන බලයක් ඇමෙරිකානු රජය සතුව තබා ගන්නා බව ඇමෙරිකානු බලධාරියෙකු මාධ්‍ය වෙත තහවුරු කර ඇත.

කෙසේවෙතත්, වෙනිසියුලාවේ තෙල් කර්මාන්තයට ආයෝජන පැමිණීමට බාධා පැමිණ ඇති දීර්ඝකාලීන ගැටලුවලට මෙම ගිවිසුම හරහා සැබෑ විසඳුමක් ලැබේදැයි යන්න පිළිබඳව ආර්ථික විශ්ලේෂකයින් අනුමාන සහ සැක පහළ කර තිබේ.

ලොව පුරා පරිභෝජනය වන බොරතෙල් ප්‍රමාණයෙන් පහෙන් පංගුවක් ප්‍රවාහනය කෙරෙන උපායමාර්ගිකව වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය, යුදමය තත්ත්වය හමුවේ ඉරානය විසින් වසා දැමීමට පියවර ගැනීමත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් සැපයුම දැඩි ලෙස සීමා වී ඇත.