September 5, 2026

කොළඹ වරාය නගර පරිශ්‍රය තුළදී චීන ජාතිකයන් තිදෙනකුට පහර දී, ඉන් එක් අයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් චීන ජාතික සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම 2026 ජූලි 23 වැනි දින කොළඹ වරාය නගර පරිශ්‍රයේදී චීන ජාතිකයන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසුව සිදුවී ඇත. එහිදී එක් චීන ජාතිකයකු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති අතර, පසුව ඔහුගේ සිරුර ඇහැලියගොඩ ප්‍රදේශයෙන් සොයාගැනිණි.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව, මෙම සිදුවීමට සම්බන්ධයෙන් සෙවූ සැකකරුවකු ඊයේ (04) කොළඹ වරාය නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 54 හැවිරිදි චීන ජාතිකයකු ලෙස හඳුනාගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.